“Morrisට කරන්න තියෙන්නේ Archerට උදව් දෙන එක” – සංගක්කාර

819
(india.com)

Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින් වන Jos Buttler, Ben Stokes හා Jofra Archer මෙවර IPL තරගාවලියේ තරග සියල්ලටම ක්‍රීඩා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක කුමාර් සංගක්කාර පවසා සිටියා. IPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ එංගලන්තය හා නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබීම එයට හේතුවයි.

“අපිට අහන්නට ලැබුණේ ඔවුන් මුළු තරගාවලියම ක්‍රීඩා කරයි කියලා. ඒ නිසා අපි අපේ තරග සැලසුම් හැදුවේ ඒක හිතේ තියාගෙන” සංගක්කාර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියා. “අපිට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස Liam Livingstone ඉන්නවා. ඔහු Big Bash තරගාවලිය ඉතා හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඔහු දඟපන්දුවලට පහර දීමේ හැකියාව වැඩි දියුණු කරගෙන තිබෙනවා. ඔහුට මැදපෙළ වගේම ඉදිරිපෙළත් පන්දුවට පහර දෙන්න පුළුවන්.”

තවත් ක්‍රිකට් පුවත්:

“IPL තරගාවලිය උදව් වෙලා තියනවා ලොව වටා ගොඩක් ක්‍රීඩකයින්ට සීමිත පන්දුවාර ආකෘතියේ දක්ෂතා පෙන්වන්න. අපි දැක්කා පසුගිය වසර කිහිපයේ එංගලන්ත හා නවසීලන්ත කණ්ඩායම් සීමිත පන්දුවාර පිටියේ දස්කම් දක්වන හැටි ඔවුන්ගේ ක්‍රීඩකයින් IPL තරගාවලිය සමඟ දියුණු වන හැටි.”

ඉන්දීය රුපියල් කෝටි 16.25ක් වැය කර මිල දී ගත් Chris Morris, පිළිබඳව සංගක්කාර මෙසේ පවසා සිටියා. “Morrisට හරිම විශේෂිත වූ රාජකාරියක් තියෙන්නේ. ඔහුට තියෙන්නේ Archerට සහය දෙන්න. ඔහු කණ්ඩායමට පැමිණීම නිසා අපිට Archerව නම්‍යශීලී ලෙස භාවිතා කරන්න පුළුවන්. Morris අවසන් පන්දුවාරවල දී හොඳින් දක්ෂතා දක්වනවා. අවසන් පන්දුවාරවල දී තරගයකට ඔහු කරන බලපෑම බැලුවම ලොව අංක එකේ ක්‍රීඩකයා ඔහු වෙන්න පුළුවන්.”

“ඔහුගේ දක්ෂතාවය ඉතා වටිනවා. අපිට AJ Tye, Mustafizur වගේ ක්‍රීඩකයින් වගේම ඉන්දියානු වේගපන්දු යවන්නන් ද ඉන්නවා. Morrisව ඊට වඩා අඩු මුදලකට ගන්න තිබුණ නම් හොඳයි, නමුත් මුම්බායි හා පංජාබ් කණ්ඩායම් ද ඔහුට ලන්සු තැබුවා. ඒ නිසා අපිට අපේ ඉහළම සීමාවට යන්න සිදු වුනා. දැන් Archerට මුලදී සහ මැදින් පන්දු යවලා අවසන් පන්දුවාර කිහිපය ගැන වද නොවී ඉන්න පුළුවන්. අවසන් පන්දුවාරවල දී ලොව හොඳ පන්දු යවන්නන්ට වුනත් හානි වෙන්න පුළුවන්.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<