“IPL නිසා මගේ පියාගේ ජීවිතය බේරාගන්න ලැබුණා” – RR නවකයාගේ සංවේදී කතාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

239
Chetan Sakariya

තම ක්‍රීඩා දිවියේ සුවිශේෂි කඩඉමක් පසුකොට යමින් 2021 IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදාකර ගැනීමට සමත් වූ Chethan Sakariya හට Rajasthan Royal නියෝජනය කරමින් නව ගමනකට මුල පිරීමේ පසුබිම සකස් වූයේ ක්‍රීඩක වෙන්දේසිය අවසානයේ දී ඉන්දීය කෝටි 1.2කට ආසන්න වටිනාකමක් නියම වීමත් සමඟිනි.

වමත් මද වේගපන්දු යවන්නෙකු ලෙසින් කරළියට ආ Sakariya ඔහුට හිමි වූ සෑම අවස්ථාවකින්ම උපරිම ඵල නෙලා ගැනීමට වඩාත් යුහුසුලු වූයේ තරගකාරීත්වයෙන් ඉහළ RR කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගැනීමට එය අතිශය තීරණාත්මක සාධකයක් වූ නිසාවෙනි. 

තමන් කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට පන්දුව අතට ලැබුණු සෑම මොහොතක දී ම ඔහු උත්සාහ කළේ ප්‍රතිවාදී පිතිකරුවන් වෙත ප්‍රබල තර්ජනයක් එල්ල කරමිනි. ක්‍රීඩා කළ තරග 7 තුල දී කඩුලු 7ක් බිඳ හෙළමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ Sakariya තම හැකියා දක්ෂතා පිළිබඳ අඩු තක්සේරුවෙන් කතා කළ පිරිස හට දැනෙන පිළිතුරක් ලබා දීමට සමත්කම් දැක්විය.

කෙසේ නමුත් ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ඉදිරියට ඇදී ආ සිය අභියෝගාත්මක  ගමන් මඟෙහි දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට යොමු කිරීමට මෙම IPL තරගාවලිය බෙහෙවින් ඉවහල් වූ බව Sakariya මීට ඉහත දී සඳහන් කොට තිබුණි. 

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව COVID-19 වයිරසය ආසාදනය වූ තම පියා හට අවශ්‍ය ප්‍රතිකාර උපරිම අයුරින් ලබා දීම සඳහා IPL තරගාවලිය නිසාවෙන් ලැබුණු ආර්ථික ස්ථාවරත්වය විශාල පන්නරයක් වූ බව Indian Express පුවත් සමඟ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමින් Sakariya සඳහන් කර සිටියේය.

“මම ඇත්තටම වාසනාවන්තයි, මොකද තරගාවලිය අවසානයේ දී මට ලැබිය යුතු මුදලින් හරි අඩක් මීට දවස් දෙක තුනකට උඩ දී මගේ අතටම ලැබෙන්න ඔවුන් සැලැස්වුවා. මම ඒ ක්ෂණයෙන් ඒ මුදල මගේ පවුලේ අයට ලබා දුන්නා මොකද අපි මේ ගත කරන්නේ ඉතාමත් දුෂ්කර කාලසීමාවක්.”

“මිනිස්සු කිව්වා IPL තරගාවලිය නවත්වන්න ඕන කියලා. මම දෙයක් කියන්න කැමති, මම තමයි මගේ පවුලේ එකම ආදායම් මාර්ගය. මට ලැබෙන මුදලින් තමයි මේ වෙනකල් මගේ පවුලේ අය නඩත්තු කළේ. මට මගේ පියා අසනීප වුන වෙලාවේ දී ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සත්කාර හැමදෙයක්ම කරන්න හැකියාව ලැබුණේ IPL තරගාවලිය නිසා. මාසයක්වත් තරගාවලිය පවත්වන්න බැරි වුනා අපිට ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. මම ඉන්නේ දුප්පත් පවුල් පසුබිමකින් ඉතින් IPL තරගාවලිය හොඳ අවස්ථාවක් උනා මගේ ආර්ථිකය හොඳ තැනකට අරගෙන එන්න.”

Sakariya ඔහුගේ මංගල IPL තරගයේ දී ම සිය ක්‍රීඩා කෞෂල්‍යයන් ලෝකයා ඉදිරියේ ගෙනහැර පෑමට සමත් වූයේ තම පන්දුවාර 4 සම්පූර්ණ කරන අවස්ථාවේ දී Punjab Kings කණ්ඩායමේ නායක K.L.Rahul ඇතුළු ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු යලි ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි.

CSK කණ්ඩායම සමඟ පැවති තරගය අතරතුර දී ද කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Sakariya ප්‍රතිවාදී පිතිකරණ ලැයිස්තුවේ Suresh Raina, Ambati Rayudu සහ MS Dhoni වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ කඩුලු දවා ගැනීමට සමත් වීම ද කාගේත් අවධානයට බඳුන් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<