අළුබඳුනෙන් අළු වූ සිහිනවලට පණ පොවමින් මොයින් නැවතත් සේවයට!

234

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන අවසන් එංගලන්ත සංචිතය තෝරාපත් කර ගැනීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවති.

එහි පළමු පියවර ලෙස ක්‍රීඩකයින් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දියත් කිරීමට අපේක්ෂා කරන පුහුණු කඳවුර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ඊයේ (19) එරට ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී පැවැත්විය.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොරෝනා සහන පැකේජයක්

නම් කරන ලද ක්‍රීඩකයින් 30දෙනා අතරට පසුගිය තරග වාරයේ දී ක්‍රීඩා පිටිය තුල එතරම් දැක බලා ගැනීමට නොහැකි වූ ක්‍රීඩකයෙකුගේ නම ද ඇතුළත් වී තිබීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.  

ආසියානු තරග සංචාරයන්හීදි එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට නැතුවම බැරි සාමාජිකයෙකු වූ මොයින් අලී දීර්ඝ විරාමයකින් අනතුරුව යලිත් වතාවක් සංචිතය වෙත එක්වී තිබෙන්නේ කණ්ඩායමේ තමන්ට හිමිව තිබූ ස්ථානය නැවත තහවුරු කරගැනීමේ අරමුණෙනි.

පුහුණු කඳවුර සඳහා නම් කොට ඇති ක්‍රීඩක නාමාවලියෙහි ජාත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල, පරිණත ක්‍රීඩකයින් රැසකගේ නාමයන් සුපුරුදු පරිදි ඇතුලත්ව ඇති අතර පසුගිය සිසිර සෘතුවේ දී සාර්ථකව ක්‍රියාත්මක වූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ද තම හැකියා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලබා දීමට එරට තේරිම් කමිටු නිලධාරීන් කටයුතු කොට තිබේ.

මෙම සංචිතයෙහි පුහුණුවීම් කටයුතු ජූලි මස 08 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට සති දෙකකට පෙරාතුව පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර ඒ අනුව මේ මස 23 වැනිදා සියලුම ක්‍රීඩකයින් පුහුණු කඳවුර පැවැත්වෙන ඇගියස් බෝල් ක්‍රීඩාංගණය වෙත වාර්තා කිරීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ. 

ජූලි මස 1 වැනිදා දියත් කිරීමට සැලසුම් කොට ඇති තෙදින පුහුණු තරගයෙන් අනතුරුව පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු අවසන් සංචිතය නම් කිරීමට අපේක්ෂා කරන බව තේරීම් කමිටු නිළධාරීහූ වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියහ.

ලෝක කුසලානය ගැන කණගාටුදායක අනාවැකියක්

අවසන් වරට පැවති අළුබඳුන ටෙස්ට් තරගාවලියේ එඩ්ජ්බැස්ටන්හී ක්‍රියාත්මක වූ අවසන් තරගය සඳහා පමණක් තම දායකත්වය ලබා දුන් මොයින් අලී ඉන් අනතුරුව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට ඇදුණේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ නිසාවෙනි. 

තුන් ඉරියව්වෙන්ම ප්‍රදර්ශනය කළ හැකියා දක්ෂතා නිසාවෙන් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස වසරකට ආසන්න කාලයක් දායකත්වය ලබා දුන් මොයින් හට තීරණාත්මක අළුබඳුන තරගාවලිය තුල දී සාර්ථක වීමට කිසිදු ඉඩප්‍රස්තාවක් ලබා නොදීමට ඕස්ට්‍රේලියානුවෝ වගබලා ගත්හ.

ටෙස්ට් පිටියෙන් තාවකාලිකව ඉවත්ව යාමත් සමඟම සීමිත පන්දුවාර තරගවලින් ද ඈත්ව සිටි මොයින් නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරග සංචාරයන්ගෙන් ද ඉවත්ව සිටියේ යලි තම දක්ෂතා මුවහත් කරගනිමින් නිසි මාවතට පැමිණීම සඳහා යම් කාලයක් අවශ්‍ය වූ නිසාවෙන් බව වාර්තා වේ. 

ඒ අනුව මාස අටකට ආසන්න කාලයක් ගත වීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් මාසයේ දී තමන් නැවත වරක් ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කිරීමට හොඳ සූදානමකින් පසුවන බව මොයින් අලි එංගලන්ත ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණි.

පුහුණු කඳවුර සඳහා එක්වන ක්‍රීඩක ලැයිස්තුවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සියලු දෙනාගේම පාහේ නම් ඇතුලත්ව තිබූ අතර ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටොව් ඉකුත් දා (18) කණ්ඩායම තුල තමන්ගේ කාර්‍යභාර්‍ය පිළිබඳ සඳහන් කරමින් ප්‍රකාශ කර සිටියේ පිතිකරු භූමිකාවට අමතරව කඩුලු රකින්නෙකු ලෙස ද තම දායකත්වය කණ්ඩායම වෙත ලබා දීමට ඉදිරියේ දී අපේක්ෂා කරන බවයි. 

කෙසේ නමුත් මැද පෙළ පිතිකරුවන් දෙදෙනෙක් වන ජොස් බට්ලර් සහ සරේ ප්‍රාන්ත ක්‍රීඩක බෙන් ෆෝක්ස් ද සංචිතය තුල සිටින දක්ෂ කඩුලු රකින්නන් බැවින් එම ස්ථානය ලබා ගැනීම සඳහා හොඳ සටනක් ලබා දීමට තමන්ට සිදු වනු ඇතැයි බෙයාර්ස්ටොව් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එංගලන්ත බලාපොරොත්තු ගැන හෝප් කතා කරයි

අයර්ලන්තය සමඟ පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව පිටකොන්දේ ආබාධයකට ගොදුරු වූ ඔලී ස්ටෝන් ද යලි සුවය ලැබීමෙන් අනතුරුව සංචිතය සමඟ එක්ව සිටින අතර කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා නම් කළ කීටන් ජෙනින්ග්ස් සහ සකීබ් මහමුද් දෙදෙනා හට ද යලි අවස්ථාව ලබා දීමට කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රියාත්මක වූ ටෙස්ට් තරගාවලිය අතරතුර දී දණහිසෙහි හට ගත් ආබාධ තත්වයක් නිසාවෙන් ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත්ව සිටි රෝරි බර්න්ස් පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව නැවත වතාවක් සංචිතය වෙත තෝරාපත් කරගෙන ඇති අතර ඔහුත් සමඟම සැක් ක්‍රෝලි, ඩොම් සිබ්ලේ සහ ජෝ ඩෙන්ලි ද ජාතික කණ්ඩායමේ දොරටු තවදුරටත් විවෘතව තබා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. 

එංගලන්ත ඉදිරිපෙළ පිතිකරණ ස්ථානයන් සඳහා ක්‍රීඩකයින් නම් කිරීම ඉතාමත් අභියෝගාත්මක කර්තව්‍යයක් වනු ඇති බවත්, තුන් දින පුහුණු තරගයේ දී දක්වන දක්ෂතාවන් කෙරෙහි ඒ අනුව වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇතැයි ද කණ්ඩායම් පුහුණුකරුවන් අවධාරණය කර සිටියේය.

ප්‍රාන්ත තරගාවලීන්හීදි මෙන්ම එංගලන්ත ලයන්ස් සහ A කණ්ඩායම්වල දස්කම් පෑ නමුත් තවමත් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි නොවූ නවක ක්‍රීඩකයින් රැසක් ද මෙවර සංචිතය වෙත ඇතුළත් කර ගැනීමට කටයුතු කොට ඇත. 

ඒ අතරින් ඩෑන් ලෝරන්ස්, ඔලී රොබින්සන්, ජේම්ස් බ්‍රේසි සහ මැට් පාර්කින්සන් වැනි තරුණ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හට ප්‍රබල තරගයක් ලබා දෙමින් යම් වෙනසක් සිදු කිරීමට මාන බලනු ඇතැයි අපේක්ෂා කෙරේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<