මාතලේට ජාත්‍යන්තර හොකී පිටියක්

369

ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රීඩා සංවර්ධනයේ පියවරයක් ලෙස මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාපිටියේහි සහ එහි අවට ක්‍රීඩා පිටියන්හි අඩුපාඩු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක අද (15) දින නිරත විය. 

එහිදී එම ක්‍රීඩාංගණයේ ඇති ධාවන පථයේ මෙන්ම ක්‍රීඩාංගණයේ අනෙකුත් කොටස් ද අවිධිමත් සැලසුම් මත ඉදිකිරීම නිසාවෙන් විනාශයට පත්ව ඇති අයුරු එතුමාගේ අවධානයට යොමු වූ අතර හැකි ඉක්මණින්ම ක්‍රීඩාංගණය ක්‍රීඩකයන්ගේ භාවිතයට සුදුසු වන පරිදි සාදා නිම කරන ලෙස බලධාරීන් වෙත දැනුම් දෙන ලදි. 

තවද එම ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකර තිබූ පිහිනුම් තටාකයේ ජලය කාන්දුවක් සහ යම් අඩුපාඩු ඇති බව වටහා ගත් අමාත්‍යවරයා එම ජලකාන්දුව ඇතුළු අඩුපාඩු සති දෙකක කාලයක් තුළදී අලුත්වැඩියා කර ක්‍රීඩා අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කරන ලෙස ද ඉදිකිරීම් සමාගම වෙත නියෝග කරන ලදි.

පිහිනුම් තටාකයේ වත්මන් තත්වය

එමෙන්ම බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ පාපන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු ක්‍රමවත්ව සිදුකර 2021 වසරෙ ජනවාරි 01 වනදාට පෙර නගර සභාව වෙත ක්‍රීඩාංගණය භාරදීමට කටයුතු කරන ලෙසට ද එතුමා උපදෙස් ලබා දෙන ලදි. 

එම පිටියේ අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් පසු සිය අදහස් දැක්වූ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්වය දැකීමෙන් තමන් කණගාටුවට පත්වූ බවත් නිසි සැලැස්මකින් තොරතව යටිතල පහසුකම් ගොඩනැගීම සිදුනොකළ යුතු බවයි. 

තවත් ක්‍රීඩා පුවත් කියවන්න: 

පසුව ශ්‍රී ලාංකීය හොකී ක්‍රීඩාවේ නිජබිම ලෙස සැලකෙන මාතලේ දිස්ත්‍රික්කයේ හොකී ක්‍රීඩාවට අවශ්‍ය කටයුතු පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා වසර 08ක පමණ සිට අභාවයට යමින් තිබෙන මාතලේ නන්දිමිත්‍ර හොකී ක්‍රීඩාංගණය රුපියල් මිලියන 50ක වියදමින් ජාත්‍යන්තර මට්ටමේ හොකී ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කරන ලදි. 

එමෙන්ම එම ක්‍රීඩාංගණයට අමතරව හොකී පුහුණුවීම් කටයුතු සහ ප්‍රාදේශීය තරගාවලි සඳහා මාතලේ එඩ්වඩ් පාක් ක්‍රීඩා පිටිය වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කර සිටියේය. 

මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තත්වයකට ගෙන ඒම සඳහා ක්‍රිකට් ක්‍රීඩාංගණයකට සුදුසු ක්‍රීඩා පිටියක් තෝරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා එය ක්‍රීඩා කිරීමට යෝග්‍ය වන ලෙස සංවර්ධනය කර දෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<