මාර්තු 2 වැනි දා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන තරග පහකින් යුත් ශ්‍රී ලංකා “ඒ” – එංගලන්ත ලයන්ස් එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ නායකත්වයට මිලින්ද සිරිවර්ධනව නම් කර ඇත.

සිංහ – ව්‍යාඝ්‍ර ගැටුමට සියල්ල සූදානම්

බෙංගාලි ව්‍යාඝ්‍රයෙකු තම නිල ලාංඡනය ලෙස භාවිත කරන බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් ලබා ගත්තේ මීට වසර 16 කට පෙරයි..

තරග දෙකකින් යුත් නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-1ක් වශයෙන් සම සමව අවසන් වූ බැවින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සහභාගී වන එක්දින තරගාවලිය වඩාත් තරගකාරී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පළමු එක්දින තරග 3 වෙනුවෙන් නම් කොට ඇති අතර ඊට ඇතුලත් කැපී පෙනෙන වෙනස්කම වන්නේ, බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර ඇති ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ ආගමනයයි.

මෑතක දී සහභාගී වූ දේශීය සහ ජාත්‍යන්තර යන තරග රටා දෙකේදීම අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා, මෙම තරගාවලිය තුළ ස්ථාවර වීමේ බලාපොරොත්තුවෙන් පසු වන බැව් අපි දනිමු. ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානය අහිමි වූ තිසර පෙරේරාට ද එළඹෙන බංගලාදේශයට එරෙහි සීමිත පන්දු වාර තරගාවලියට පෙර තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්නට නම් මෙහි දී තම උපරිම දක්ෂතා දක්වන්නට සිදුවේ.

තම මංගල ශ්‍රී ලංකා “ඒ” තරගයේ දී ශතකයක් ද සමඟින් වේගවත් ලකුණු 185ක් වාර්තා කළ සධීර සමරවික්‍රම සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ නායක කිත්රුවන් විතානගේ ද කණ්ඩායමට ඇතුලත් ය. ගැටුමකට මැදිහත් වීම හේතුවෙන් 2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනමකට ලක් කළ විතානගේට අදාළ තහනම දේශීය ක්‍රිකට් තරගාවලියට පෙරාතුව අත්හිටවනු ලැබීය.

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු විස්සයි 20 තරගයට පෙර පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට හරවා එවන ලද ධනුෂ්ක ගුණතිලක ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට කැඳවා ඇත. තම ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ඇරඹු සඳුන් වීරක්කොඩි සහ ලහිරු මධුශංකද 15 දෙනාගේ සංචිතයට එක්කොට ඇත.

බංගලාදේශ ටෙස්ට් තරගාවලියට ඇතුලත් සංචිතයේ ස්ථානයන් හිමිවූ විකුම් සංජය සහ මලින්ද පුෂ්පකුමාර ද “ඒ” සංචිතයටත් කැඳවා ඇති අතර ඉන් ගම්‍ය වන්නේ අත්‍යාවශ්‍යම අවස්ථාවක දී හැරෙන්නට ඔවුන්ට බංගලාදේශයට එරෙහිව ජාතික කණ්ඩායමේ ස්ථානයන් හිමි නොවනු ඇති බවයි.

ශ්‍රී ලංකා “ඒ” සංචිතය 

මිලින්ද සිරිවර්ධන (නායක), කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, සඳුන් වීරක්කොඩි, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ෂෙහාන් ජයසුරිය, කිත්රුවන් විතානගේ, චරිත් අසලංක, ලහිරු මධුශංක, විකුම් සංජය, අසිත ප්‍රනාන්දු, අමිල අපොන්සු, ජෙෆ්රි වැන්ඩර්සේ, මලින්ද පුෂ්පකුමාර.

එංගලන්ත ලයන්ස් සංචිතය

කීටන් ජෙනින්ග්ස් (නායක),  ඩැනියෙල් බෙල් ඩ්රුමොන්ඩ්, ටොම් ඇල්සොප්, බෙන් ඩකට්, ජෝ ක්ලාක්, ලියාම් ලිවින්ස්ටෝන්, බෙන් ෆෝක්ස්, සෑම් කරන්, මාක් වුඩ්, ක්‍රෙග් ඕවටන්, ටොම් හෙල්ම්, ජේම්ස් ෆුලර්, ඔලී රේනර්, ජෝෂ් පොයිස්ඩන්, ටෝබී රෝලන්ඩ් ජෝන්ස්.

ශ්‍රී ලංකා “ඒ” – එංගලන්ත ලයන්ස් තරග කාල සටහන

  • පළමු එක්දින තරගය – මාර්තු 02 – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.
  • දෙවන එක්දින තරගය – මාර්තු 04 – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.
  • තෙවන එක්දින තරගය – මාර්තු 06 – කුරුණෑගල ක්‍රිකට් ක්‍රීඩාංගණය.
  • සිව්වන එක්දින තරගය – මාර්තු 09 – CCC ක්‍රීඩාංගණය.
  • පස්වන එක්දින තරගය – මාර්තු 11 – CCC ක්‍රීඩාංගණය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට