“ලොව හොඳම පන්දු රකින්නන් අප සතුයි“. මෙසේ කියන්නේ රවී ශාස්ත්‍රී යි. 90 දශකයේදී ඉහත වාක්‍යය සවන වැකුණි නම් සිනහවෙන් අප පිනායන්නට ඉඩ තිබිණි. ඒ වන විට ආසියානු ක්‍රිකට් තලයේ ඉහළින්ම සිටි පන්දු රකින්නන් සතුවූයේ ශ්‍රී ලංකාව සතුවයි. එහෙත් තත්වය වෙනස් වී ඇති අතර ඉන්දියානු පුහුණුකරු රවී ශාස්ත්‍රිට පුරසාරම් දෙඩීමේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමිව ඇත.
පන්දුව වෙතට පැන පිටියේ මඩ පමණක් ඇඟෙහි තවරාගත් නවජෝත් සිං සිධූ, පන්දුව තමා අසලින් ඇදී යන තෙක් ඒ දෙස බලා සිටි අනිල් කුම්බ්ලේ, පන්දුව පසුපස හඹාගිය, එහෙත් කිසිදින එය හතරේ සීමාවෙන් මෙහා නවතා ගන්නට නොහැකි වූ ජවගාල් ශ්‍රීනාත් දෙස බලමින් ශ්‍රී ලාංකික අපි සිනාසුනෙමු. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකා අන්තයේ සිටි රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, උපුල් චන්දන අසලටවත් පැමිණිය හැකි පන්දු රකින්නන් ශ්‍රී ලංකාව මෙන් හැටගුණයක් විශාල ඉන්දියාවේ නොසිටියේය.
දක්ෂතම ශ්‍රී ලාංකික පන්දු රකින්නන් 10 දෙනා කවුරුන් ද?
දකුණු ආසියාවේ වඩාත් නම්‍යශීලී සහ සුචල්‍ය (agile – පහසුවෙන් එහා මෙහා චලනය විය හැකි) ශරීර වලින් යුත් ක්‍රිකට්…
එහෙත් තත්වය වෙනස් වී ඇත. ඔවුන් ඊට දැක්වූ උනන්දුව නිසාම අද ලොව ප්‍රමුඛතම පන්දු රකින්නන් ඉන්දියාව තුළ සිටියි. 90 දශකයේ අමිහිරි පන්දු රැකීමේ මතකයන් ඉවතලන ගමන ඔවුන් ඇරඹුවේ කොතැනින්ද?
90 දශකයේ අගභාගය වන විට හොඳින් දුව පැන ක්‍රීඩා කළ හැකි පන්දු රකින්නන් කිහිප දෙනෙකු ඉන්දියාව සතුවිය. මොහොමඩ් කයිෆ්, යුවරාජ් සිං ඉන් දෙදෙනෙකි. ඒ හැර කිසිදු නමක් මා හට සිහිනොවන්නේ ඉන්දියාව කෙරේ ඇති නුරුස්නා සහගත භාවය නිසා දැයි නොදනිමි. එහෙත් අද තත්වය වෙනස් වී ඇත.
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරුණ කණ්ඩායමකි. එහෙත් වයස අවුරුදු 30 සීමාවේ සිටියදී මහානාම, තිලකරත්න, මහේල, ඩිල්ෂාන් දැක්වූ පන්දු රැකීමේ දස්කම්වලට ලංවෙන්නටවත් ඔවුන්ට නොහැකි වී ඇත. තරගයක් අවසාන වන විට නන්දෙසින් ඇසෙන්නේ උඩපන්දු අත්හැරීම්, ආබාධ, ශාරීරික යෝග්‍යතා ගැටලු ආදී අමිහිරි චෝදනා ය.
වසරක පමණ කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් පෙළන මෙම තුවාලයට ලුණු ඉසීමට රවී ශාස්ත්‍රි පසුගිය දා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා නම් මාධ්‍යය සමඟින් අදහස් දක්වා තිබිණි.
“පසුගිය ටෙස්ට් තරගාවලියේදී ඉන්දියාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව (487), ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවටත් වඩා (386) ලකුණු 100ක් විතර වැඩියි.” ඔහු කීවේ එසේයි. ඉතින් එය වැරදිද? නැත.
“ඒකෙන් පේනවා පිතිකරණයේදිත් පන්දු යැවීමේදීත් අපේ ආධිපත්‍යය.” මේවා පුරසාරම් පමණක්ම නොවේ. එහෙත් ශ්‍රී ලාංකිකයාට වඩාත් සිත් වේදනා ගෙනදුන්නේ ඔහු ඉන්දියානු පන්දු රැකීම ගැන සඳහන් කරන විටයි. 90 දශකයේ ටෙස්ට් තරග පුරාවට පන්දු රැකීමෙන් අපට සිනහ ගෙන ආ ඉන්දියානු කණ්ඩායම ගැන ශාස්ත්‍රි අද පසුවන්නේ මෙවන් විශ්වාසයකින්.
“සහා (ව්රිදිමාන් සහා) කඩුලු රැකීමෙන් ඉදිරියෙන් සිටියා. 2019 ලෝක කුසලානය වන විට අප ලොව හොඳම පන්දු රැකීමේ කණ්ඩායම හැටියටයි එළියට එන්නේ. ශාරීරික යෝග්‍යතාවයෙන් 100%ක් ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයන් විතරයි අපි ඊට යොදාගන්නේ.”
සමහරක් විට ශාස්ත්‍රිගේ කාලය සිහිවී ඇතිවන වේදනාව මකා ගැනීමට ඔහු අපෙන් පළිගන්නවා විය යුතුය. සහා ගැන ශාස්ත්‍රි පවසද්දී සභා කරීම්ට රොමේෂ් කළුවිතාරණ සසඳා අප සිනහ වූ සැටිත්, නයන් මොන්ගියා දෙස අනුකම්පාවෙන් බැලූ සැටිත් සිහිවී දැන් අප ගැනම අනුකම්පාවක් ඇතිවේ.
90 දශකයේදී ඔවුන්ට පන්දු රැකීමට එතරම් ශක්තිමත් සහ යෝග්‍ය ක්‍රීඩකයන් නොසිටියේය. ආබාධවලට ලක්වූවන් පවා යොදාගැනීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොවීය. ඉතින් අපි ඔවුනට සිනාසුනෙමු. එහෙත් මා මේ කතා කරන්නේ “අද” අපගේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නොවේද? ඔවුන්ගේ 90 දශකය අපගේ වර්තමානයයි.
අපට ආබාධ සහිත ක්‍රීඩකයන් 25කට අධික සංඛ්‍යාවක් පළමු පෙළ සංචිතයේ සිටියි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාද මේ බව තහවුරු කළේය. පැයෙන් පැය සිදුවන ක්‍රීඩක වෙනස්කම්වලට හේතුව එය බවයි සනත් පැවසුවේ. එනම් එම සංචිතයේ ක්‍රීඩකයන් 25ක් අඩු ය. නිගමනය එය නොවේද?
සුපුරුදු පරිදි අපට ඉතිරිව ඇත්තේ අතීතය සිහිකොට සතුටුවීමයි. ශ්‍රී ලංකාවට වැරදුණු තැන් ගැන සටහන් කරනු වෙනුවට ඉන්දියාවට හරිගිය තැන් ගැන අවධානය යොමු කරමු.
90 දශකය වන විට ඉන්දියානු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හොඳ මට්ටමක තිබුණත් ඔවුන්ට දේශීය තරග ක්‍රීඩා කිරීම සඳහා ප්‍රමිතිගත ක්‍රීඩාංගණ තිබුණේ නැත. පන්දු රැකීම පසුබසින්නට එය හේතුවක් වූයේ බොරළු සහිත පිටිය මත යොවුන් ක්‍රීඩකයන් තම ශරීරය නොබියව විසිකරදමන්නට බියවීම නිසයි. ඉන්දියානු බලධාරීන් එය හොඳින් හඳුනා ගත්තේය.
එහෙත් නව ක්‍රීඩාංගණ තනන්නට ගොස් මූල්‍ය අර්බුදයකට ලක්වීම නොකොට ඔවුන් සිදුකළේ දේශීය ක්‍රිකට් තරගාවලියට නව මුහුණුවරක් ලබාදී එය මුදල් ගැවසෙන ක්‍රිකට් පද්ධතියක් බවට පත්කිරීමයි. “රන්ජි ශූරතාවය” (Ranji Trophy) නම් දින හතරේ ක්‍රිකට් තරගාවලිය ඒ වන විටත් ඔවුන් සතුව තිබිණි. එබැවින් මහා වෙනස්කම් අවශ්‍ය වූයේ නැත. තමන් සතු තරගාවලිය ජනගත කිරීම පමණක් සාර්ථකව සිදුකළ ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් ඊට අනුග්‍රාහකයන් සහ තාක්ෂණික ඉසව් එක්කොට ඕස්ට්‍රේලියානු දේශීය තරගාවලියට ආසන්න මට්ටමකට එය ගෙන ආවේය.
ක්‍රීඩකයන්ට මුදල් සහ තාක්ෂණික දැනුම ලැබීම මත තරගාවලියේ මට්ටම කෙමෙන් ඉහළ නැගුණු අතර ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය සම්පාදනයද ඉන් සාර්ථකව සිදුවිය. ඉන්දියාවට ජාත්‍යන්තර මට්ටමේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාංගණ ලැබෙන්නේ ඒ අයුරිනි. ඊට අමතරව ඉන්දියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මඟින්ද (IPL) මිළ කළ නොහැකි දැනුමක් තම නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබාදෙන්නට ඔවුන් පියවර ගත්තේය.
දේශීය ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩකයන් හා මුසුකිරීමෙන් ඔවුන්ගේ මට්ටම ඉහළ නංවාගන්නට අවශ්‍ය තල්ලුව ඔවුනට ලබාදෙන ලදි. දේශීය ක්‍රීඩාංගණවල මට්ටම සහ පුහුණුකරුවන්ගේ නවීන තාක්ෂණික උපක්‍රම සමඟින් විරාත් කෝලි, සුරේෂ් රෙයිනා, හර්දික් පාන්ඩ්යා, මනෝජ් තිවාරි ආදී පියාඹන පන්නයේ පන්දු රකින්නන් ඉන්දියාවට බිහිවිය.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩකයන් තවමත් පැරණි පුහුණු ක්‍රමවේදවලම සිරවී ඇති ආකාරයක් පෙනේ. පුහුණුකරු පැමිණ උස් උඩපන්දු සහ කෙටි උඩපන්දු 100 බැගින් ක්‍රීඩකයන්ට ලබා දීමට වැඩි දෙයක් පන්දු රැකීමේ පුහුණුවේදී සිදු කළ යුතු බැව් දැන් පැහැදිලිය. අපට ඉන්දියාව මෙන් අති විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කළ යුතු නැත. අවශ්‍ය හොඳ මට්ටමේ ක්‍රීඩාංගණ ද අප සතු ය. මහානාම, මහේල, ඩිල්ෂාන් වැනි පූර්වාදර්ශ ද අප සතුය. හැකියාව සහිත ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලහිරු තිරිමාන්න වැනි තරුණයන්ද අප සතුය. එහෙත් අප යන්නේ පසුපසටය.
‘පන්දු රකින්න ඉගෙන ගන්න’ – අතුල සමරසේකර
ආසියාවේ දක්ෂතම පන්දු රකින ක්‍රිකට් කණ්ඩායමේ අද තත්වය දකින විට ඇතිවන කණගාටුව මකාගැනීම සඳහා..
මනස සවිමත් නැතිනම් කිසිවක් සාර්ථක වන්නේ නැත. ශාස්ත්‍රිගේ වදන්වලින්ද පෙනීයන්නේ නොසැලෙන ආත්ම විශ්වාසයයි. එවන් ආත්ම විශ්වාසයක් ගොඩනැගීම ද පුහුණුකරුවන්ගේ වගකීමයි. එය සිදුනොකළහොත් අපට යළි යළිත් සිදුවන්නේ “අතීතයේ මෙසේය, ඒ කාලේ මෙසේය” යනුවෙන් පුරසාරම් කීමට මිස වර්තමානය පිළිගැනීමට නොවේ.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට