Teejay Lanka වෙළඳ සේවා ශූරතාව දිනා ගනී

MCA Premier League 2024

21
MCA Premier League 2024

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ Premier League සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරයන් වීමට සිතාර ගිම්හාන් ගේ නායකත්වයෙන් යුත් Teejay Lanka කණ්ඩායම අද (03) සමත් වුනා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගම් මූලස්ථාන පිටියේ දී පැවැති අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Teejay Lanka කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී  Singer Sri Lanka කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 269ක් පමණයි. ඒ අනුව තරගයෙන් ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Teejay Lanka කණ්ඩායම සමත් වෙනවා.

අවසන් මහා තරගය, කොළඹ 7, අගෝස්තු 03, MCA Premier League

o කාසියේ වාසිය – Singer Sri Lanka

o ක්‍රීඩාංගණය – වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, කොළඹ 7.

Teejay Lanka කණ්ඩායම – සිතාර ගිම්හාන් (නායක), සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ජනිශ්ක පෙරේරා, ක්‍රිශාන් සංජුල, රවීන් ද සිල්වා, අයන සිරිවර්ධන, සකුණ ලියනගේ, දිනුක ඩිල්ශාන්, ශිරාන් ප්‍රනාන්දු, ඉනුක කරන්නාගොඩ, ටිලංග උදේශන.

Singer Sri Lanka කණ්ඩායම – පසිඳු ඩිල්ශාන් (නායක), උමේෂ් කසුන්, කෞෂිත කොඩිතුවක්කු, හිරුණ ගමගේ, දුනිත් ජයතුංග, රශ්මික මධුශංක, දනුජ ඉඳුවර, සඳුන් ප්‍රනාන්දු, සන්දීප සමෝද්, නිර්මල රත්නායක, නිපුන් දේශාන්.

කාසියේ වාසිය දිනා ගත් Singer Sri Lanka කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Teejay Lanka කණ්ඩායමට ලෙහෙසි ආරම්භයක් ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් ඔවුන්ගේ පළමු කඩුල්ල 2 වැනි පන්දුවාරයේ දී අහිමි වූවත් තෙවැනි පන්දුවාරය නිමා වන විට ලකුණු පුවරුව 26ක් ව තිබුණා. නමුත් එතැන් සිට පන්දුවාර 10ක් අවසන් වන විට යැවුණ පන්දු 42 දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 29ක් පමණයි. ඒ වෙද්දී තවත් කඩුල්ලක් ද ඔවුන්ට අහිමි ව තිබුණා.

එම අවස්ථාවේ දී තරමක් ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූ නායක සිතාර ගිම්හාන් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

5 වැනි කඩුල්ල ලෙසින් සිතාර ගිම්හාන් දැවී ගිය පසු කඩුල්ලට එක් වූ අයන සිරිවර්ධන සහ සකුණ ලියනගේ Teejay Lanka ඉනිම කණපිට හරවමින් 6 වැනි කඩුල්ලට ලකුණු 136ක සබඳතාවක් එක් කළා.

සකුණ ලියනගේ පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගිය අතර අනතුරු ව අයන සිරිවර්ධන ද ඒ ආසන්නයේ ම තම ඉනිම හැර ගියා. ඔහු දැවී යන විට පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 128ක් ලබා සිටියා.

අනතුරු ව පිටියේ විප්ලයක් කළ ශිරාන් ප්‍රනාන්දු සහ ඉනුක කරන්නාගොඩ 9 වැනි කඩුල්ලට නොබිඳුණ ලකුණු 56ක සබඳතාවක් එක් කළා. ඉන් ලකුණු 53ක් ම එක් වෙන්නේ අවසන් පන්දු 18 දී වීම විශේෂයි.

එහි දී ශිරාන් ප්‍රනාන්දු පන්දු 20කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ ඉනුක කරන්නාගොඩ පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ දනුජ ඉඳුවර ලකුණු 64කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සංදීප සමෝද් කඩුලු 2ක් ද, හිරුණ ගාල්ලගේ සහ සඳුන් ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ලකුණු 329ක දැවැන්ත ඉනිමක් හඹා යෑමට පිටියට පිවිසි Singer Sri Lanka ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 48ක් වෙද්දී හරවා යවමින් තරගයේ පාලනය සියතට ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වුනා.

නමුත් ඔවුන්ට එම තත්ත්වය දිගින් දිගට ම පවත්වාගෙන යෑමට හැකි වෙන්නේ නැහැ. ඊට පෙරමුණ ගන්නේ රශ්මික මධුශංක සහ සඳුන් ප්‍රනාන්දු.  ඔවුන් දෙදෙනා එක් ව Teejay Lanka පන්දු යවන්නෝ දැඩී පීඩනයකට හසු කරමින් 6 වැනි කඩුල්ලට ලකුණු 186ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී රශ්මික මධුශංක පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 130ක් ලබා ගැනීමට සමත් වෙනවා. සඳුන් ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 59ක්. ඒ සඳහා ඔහු පන්දු 88කට මුහුණ දෙන අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කරනවා.

පන්දු 13ක් තුළ නිමා වූ ඔවුන්ගේ ඉනිම් සමඟින් Singer Sri Lanka ඉනිම එතෙක් ආ ගමනෙන් වෙනතකට ඇද දැමීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ අනුව ඔවුන් Singer Sri Lanka ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණු 22ක් තුළ දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සන්තක කර ගන්නවා.

එහි දී දකුණතින් මඳ වේග පන්දු යැවූ ටිලංග උදේශන ලකුණු 49කට කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දක්වනවා. ඊට අමතර ව ඉනුක කරන්නාගොඩ කඩුලු 2ක් දවා ගන්නා අතර රවීන් ද සිල්වා සහ දිනුක ඩිල්ශාන් ද කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Teejay Lanka – කඩුලු 8ක් දැවී 328 (50.0) ජනිශ්ක පෙරේරා 19, සිතාර ගිම්හාන් 37, අයන සිරිවර්ධන 128, සකුන ලියනගේ 35, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 37, ඉනුක කරන්නාගොඩ නොදැවී 24, දනුජ ඉඳුරුව 4/64, සන්දීප සමෝද් 2/56,

Singer Sri Lanka – සියලුම දෙනා දැවී 269 (45.4) කෞෂිත කොඩිතුවක්කු 19, රශ්මික මධුශංක 130, සඳුන් ප්‍රනාන්දු 59, ඉනුක කරන්නාගොඩ 2/55, ටිලංග උදේශන 5/49

Teejay Lanka කණ්ඩායමට ලකුණු 59ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා – අයන සිරිවර්ධන (Teejay Lanka)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – අයන සිරිවර්ධන (Teejay Lanka)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – දෙවිඳු කැකිරිදෙණිය (DFCC Bank)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – රශ්මික මධුශංක (Singer Sri Lanka)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<