මැතිව්ස් සහ චමීර ඉන්දියාවට!

ICC Cricket World Cup 2023

1478
ICC Cricket World Cup 2023

දුශ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් (Travelling Reverse) ලෙස එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දියාවේ දී මේ වන විට පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩක ආබාධ නිසා දැවැන්ත ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී ඇති අතර මේ නිසා දුශ්මන්ත චමීර සහ හිටපු නායක මැතිව්ස් මෙසේ අතිරේක ක්‍රීඩකයින් ලෙස ඉන්දියාවට යැවීමට තීරණය කර ඇති බව වටහා ගත හැකි.

ලෝක කුසලානයේ මුල් තරග ද්විත්වය ක්‍රීඩා කළ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පසුව ආබාධයකට ලක් වූ අතර මේ නිසා ඔහුට අවසාන වශයෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සමඟ තරගය මඟ හැරී ගියා. තරගාවලියේ ඉදිරි තරගවලට මතීෂගේ දායකත්වය ලැබේ ද යන්න තවමත් නිශ්චිතව දැන ගැනීමට ලැබී නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකා නිත්‍ය නායක දසුන් ශානක ද පාකිස්තානය සමඟ තරගය අතරතුර ආබාධයකට ලක් වූ අතර එම නිසා ඔහුව ලෝක කුසලාන සංචිතයෙන් පවා ඉවත් කෙරුණා. ඔහුට සිය ආබාධයෙන් යතා තත්වයට පත් වීමට අවම වශයෙන් සති තුනක පමණ කාලයක් අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ. එම නිසා දසුන් වෙනුවට එතෙක් සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ව සිටි චාමික කරුණාරත්න සංචිතය සමඟ එක් වුනා.

මේ අතර නිමා වූ LPL තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරට එම ආබාධය නිසා ලෝක කුසලානයට නම් කළ සංචිතයට එක් වීමට හැකි වුනේ නැහැ. නමුත් දැන් ඔහු එම ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වන විට 36 හැවිරිදි වියේ පසු වන හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු 12ක අසාර්ථක ඉනිමකින් පසුව කණ්ඩායමෙන් එළියට විසි වී ගිය අතර ඉන් පසුව ඔහුට නැවත කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

විශ්වාසදායී ආරංචි මාර්ග අනුව මොවුන් දෙදෙනා අද (19) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් හෙට (20) සවස් කාලයේ දී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ඇති. කෙසේ වෙතත් මොවුන් ඉන්දියාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වුනත් දැනට සංචිතයේ සිටින ක්‍රීඩකයින් 15 දෙනාගෙන් කිසිවෙකු හෝ ආබාධයක ලක් වී, ඒ වෙනුවට වෙනත් ක්‍රීඩක ආදේශයක් සිදු කිරීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබෙන තෙක් ඔවුන්ට ලෝක කුසලාන තරග ක්‍රීඩා කිරීමට නම් අවස්ථාවක් හිමි නොවනු ඇති.

මේ අතර පසුගිය සඳුදා (16) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් පන්දු 82කින් ලකුණු 78ක් වාර්තා කළ කුසල් ජනිත් පෙරේරාගේ ඉනිම අතරතුර ඔහු ලකුණු 43ක් ලබා සිටිය දී Marcus Stoinis විසින් යැවූ පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් ඇති වූ බලපෑමෙන් කුසල් තවමත් සම්පූර්ණයෙන්ම යතා තත්වයට පත් වී නොමැති බවත් ඉන්දියාවෙන් ThePapare වෙත වාර්තා වනවා. එම නිසා කුසල්ගේ තත්වය අනුව අවශ්‍ය වුවහොත් ආරම්භ පිතිකරු භූමිකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න යොදා ගැනීමට ඉඩ තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ තරග තුන ම පරාජය වෙමින් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන්ගේ මීළඟ තරගය එළඹෙන සෙනසුරාදා (21) නෙදර්ලන්තය සමඟ ලක්නව් හිදි පැවැත්වීමට නියමිතයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<