Clifford කුසලානයත් මහනුවර සතු වෙයි!

Matercard Inter Club Clifford Cup Knokout Championship 2025

23

2024/25 Mastercard පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතාව ජයග්‍රහණය කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය ඊයේ (06) සමත් වුනා. 

තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය නිමා වුන සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

පළමු අවසන් පූර්ව තරගය – CR & FC සහ Havelock අතර 

මෙවර තරග වාරයේ ක්‍රියාත්මක වූ වඩාත් තියුණු තරගයක් ලෙස හැඳින්විය හැකි මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම දෙපිළම කරට කර සටනක නියැලුණා. 

පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 15ක් ලබා ගන්නා අතරේ, Havelock ක්‍රීඩකයින් එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් වඩාත් හොඳින් තරගයට අවතීර්ණ වූ අතර, එම කාල සීමාව තුළ ඔවුන් තවත් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් ලබා ගනිමින් සිය සම්පූර්ණ ලකුණු ප්‍රමාණය 24ක් තෙක් රැගෙන යාමට සමත් වුනා. 

මේ අතරවාරයේ දී CR & FC ක්‍රීඩකයින් තවත් එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 10ක් ලබමින් ලකුණු සංඛ්‍යාව 25ක් දක්වා රැගෙන යාමට සමත් වුනේ තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලබමිනුයි. 

මේ අනුව CR & FC කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

  • CR & FC 25 (3T, 2C, 2P) – Havelock 24 (3T, 3C, 1P) 

තරගයේ වීරයා ඔමල්ක ගුණරත්න (CR & FC) 

දෙවැනි අවසන් පූර්ව තරගය මහනුවර සහ CH & FC අතර 

මෙතෙක් තරග වාරය පුරාවට පවත්වා ගෙන ආ සිය අපරාජිත ගමන තවදුරටත් රැක ගැනීමට මෙහි දී මහනුවර කණ්ඩායම විසින් සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් මෙම කාලය තුළ CH & FC කණ්ඩායම එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ. 

කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ CH & FC කණ්ඩායම උත්සාහක දිනුම් 3ක් සමඟ ලකුණු 21ක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළා. නමුත් එම කාල සීමාව තුළ මහනුවර ක්‍රීඩකයින් තවත් ලකුණු 12ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

මේ අනුව මහනුවර කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

  • මහනුවර 38 (6T, 4C) – CH & FC 21 (3T, 3C) 

තරගයේ වීරයා හේශාන් ජැන්සන් (මහනුවර) 

අවසන් මහා තරගය මහනුවර සහ CR & FC 

පසුගිය වර ලීග් ශූරතාව වෙනුවෙන් තරග වැදුණු කණ්ඩායම් ද්විත්වය නැවතත් මෙහි දී එකිනෙකා මුණ ගැසුණු අතර, තරගය ආරම්භයේ පටන් දෙපිළම කරට කට ගැටෙමින් තම අභිමානය වෙනුවෙන් සටන් වැදෙන අයුරු දක්නට ලැබුණා. 

තරගයේ පළමු අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 17ක් ලබා ගන්නා අතරේ, CR & FC ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් සිය ආධිපත්‍ය පතුරවමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ ඔවුන් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා. 

නමුත් මේ අතර වාරයේ දී CR & FC ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 19ක් (උත්සාහක දිනුම් තුනක් සමඟ) පමණයි. 

මේ අනුව මෙවර Clifford කුසලානය ජයග්‍රහණය කිරීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා. 

  • මහනුවර 41 (5T, 5C, 2P) – CR & FC 33 (5T, 4C) 

තරගයේ වීරයා තිළිණ බණ්ඩාර (මහනුවර) 

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<