මහනුවර අපරාජිතයි; වත්මන් ශූරයින් පසු බසී!

Mastercard Club Rugby League 2024/25

8
Mastercard Club Rugby League 2024/25

2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ නව වැනි සහ මූලික වටයේ අවසන් සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

මෙම තරග අවසානයේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස වැජඹීමට මහනුවර සමත් වූ අතර, වත්මන් ශූරයින් වන CR & FC කණ්ඩායම මෙම තරග වාරයේ නොකඩවා දෙවැනි පරාජයත් උරුම කර ගත්තා.

CH & FC සහ නාවික හමුදාව

මෙම තරගයේ දී CH & FC ක්‍රීඩකයින් ඉතා පහසු ජයක් කරා යාමට සමත් වූ අතර, තරගයේ පළමු මිනිත්තුවේ පටන් ම ඔවුන් සිය ආධිපත්‍යය පතුරවාලීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් ලකුණු 29ක් ලබා ගන්නා අතරේ, නාවික හමුදාව ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් තම ග්‍රහණය තවත් දැඩි කළ අතර, තරගය අවසන් වන විට ලකුණු 69ක් කරා යාමට ඔවුන් සමත් වී තිබුණා. නමුත් මෙම කාලය තුළ නාවික හමුදාව ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 24ක් පමණයි.

CH & FC 69 (11T, 7C) – නාවික හමුදාව 24 (3T, 3C, 1P)

තරගයේ වීරයා පසිඳු බණ්ඩාර (CH & FC)

යුද හමුදාව සහ ගුවන් හමුදාව

මෙම තරගයේ දී දෙපිළම කරට කර සටනක නිරත වෙමින් ජයග්‍රහණයක් සොයා යාමට උත්සාහ කළ අතර, එම නිසාම පළමු අර්ධයේ දී ඉතා තියුණු ලකුණු පුවරුවක් ද දැක බලා ගැනීමට හැකියාව ලැබුණා.

පළමු අර්ධය තුළ ගුවන් හමුදාව ලකුණු 15ක් ලබා ගන්නා අතරේ, යුද හමුදාව ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා.

දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදාව තවත් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, යුද හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

ගුවන් හමුදාව 27 (4T, 2C, 1P) – යුද හමුදාව 19 (3T, 2C)

තරගයේ වීරයා ශාමික කෞශාන් (ගුවන් හමුදාව)

මහනුවර සහ CR & FC

ගිය වර ශූරතාව වෙනුවෙන් සටන් වැදුණු කණ්ඩායම් ද්විත්වය නිසා මෙන්ම, මෙවරත් තරගාවලියේ වඩාත් උණුසුම් තරගය ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබූ මෙම තරගයේ දී මහනුවර ක්‍රීඩකයින් සිතුවාටත් වඩා පහසුවෙන් ජයග්‍රහණය හඹා යාමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර, CR & FC ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

දෙවැනි අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් එක් දඬුවම් පහරක් පමණක් සාර්ථක කර ගැනීමට සමත් වන අතරේ මහනුවර ක්‍රීඩකයින් තවත් ලකුණු 17ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා.

මේ අනුව මහනුවර ක්‍රීඩකයින් මෙවර තරග වාරයේ සිය අපරාජිත ගමන ඉදිරි වටය දක්වා ම රැගෙන යාමට සමත් වුනා.

මහනුවර 32 (5T, 2C, 1P) – CR & FC 10 (1T, 1C, 1P)

තරගයේ වීරයා තරිඳු චතුරංග (මහනුවර)

මීට අමතරව පොලිස් ක්‍රීඩා සමාජය සහ Sri Lions කණ්ඩායම අතර පැවැත්වුණු තරගයෙන් පොලිසිය ලකුණු 28-10ක් ලෙස ජය ලබා ගැනීමට සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<