Sri Lions මංගල ජය ලබයි; මහනුවර විශිෂ්ට අවසානයක් කරා!

Matercard A Division Inter Club Rugby 2024/25

121

නව වසර ආරම්භ වීමත් සමඟින් 2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තරග පසුගිය දින දෙකේ දී ක්‍රියාත්මක වුනා. 

ගුවන් හමුදාව සහ නාවික හමුදාව 

නව වසරේ පැවැත්වුණු පළමු තරගයේ දී ගුවන් හමුදාව සහ නාවික හමුදාව එකිනෙකා හා ගැටුණු අතර, එම තරගය තරමක් උණුසුම් මුහුණුවරක් ගනිමින් තියුණු අවසානයක් කරා ඇදී ගියා. 

තරගයෙ පළමු අර්ධයේ දී ගුවන් හමුදාව පෙරමුණ ලබා ගත්තේ ලකුණු 19ක් සමඟයි. ඒ අතරතුර දී නාවික හමුදාව විසින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී නාවික හමුදා ක්‍රීඩකයින් වඩාත් හොඳින් තරගයට අවතීර්ණ වෙමින් තවත් ලකුණු 12ක් ලබා ගත්තේ, ගුවන් හමුදා පාර්ශවයෙන් ලකුණු 10ක් පමණක් වාර්තා වන අතරවාරයේ දියි. නමුත් පළමු අර්ධයේ දී ලබාගත් ඉදිරිය නිසා ගුවන් හමුදාවට තරගයේ ජය හිමි වුනා. 

  • ගුවන් හමුදාව 29 (4T,3C,1P) – නාවික හමුදාව 24 (4T, 2C) 

තරගයේ වීරයා ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදාව) 

CR & FC සහ යුද හමුදාව 

ලීගයේ වත්මන් ශූරයින් වන CR & FC ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔවුන් තරගයේ පළමු අර්ධයේ පටන් ම පෙරමුණේ රැඳීමට සමත් වුනා. 

පළමු අර්ධය නිමා වන විට CR & FC ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර,යුද හමුදා ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 05ක් පමණයි. 

දෙවැනි අර්ධය තුළත් යුද හමුදාව තවත් ලකුණු 05ක් පමණක් ලබා ගත් අතර, CR & FC ක්‍රීඩකයින් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනා. 

  • CR & FC 38 (6T, 4C) – යුද හමුදාව 10 (2T) 

තරගයේ වීරයා රුශේන් බණ්ඩාරනායක (CR & FC) 

CH & FC සහ Sri Lions  

මෙම සති අන්තයේ පැවැත්වුණු තවත් ඉහළ මට්ටමේ තරගයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි. ලීගයේ තම මංගල ජය සොයමින් සිටි Sri Lions ක්‍රීඩකයින් මෙහි දී සිය උපරිමය ලබා දෙමින් අදාළ ඉලක්කයට ළඟා වීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය නිමා වන විට Sri Lions ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, CH & FC ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගනිමින් තියුණු තරගයට මුල පුරනු ලැබුවා.  

තරගයේ දෙවැනි අර්ධය තුළ Sri Lions ක්‍රීඩකයින් තවත් ලකුණු 15ක් ලබා ගනිමින් සම්පූර්ණ ලකුණු 25ක් දක්වා පැමිණීමට සමත් වූ අතර, මේ කාලය තුළ CH & FC ක්‍රීඩකයින් ද ලකුණු 14ක් ලබමින් ඉතා හොඳ සටනක නිරත වුනා. තරගයේ අවසන් තත්පරය දක්වා උණුසුම් ලෙස ඇදී ගිය තරගයෙන් Sri Lions ක්‍රීඩකයින්ට ලකුණු 04ක ජයක් හිමි වුනා. 

  • Sri Lions 25 (3T, 2C, 2P) – CH & FC 21 (3T, 3C) 

තරගයේ වීරයා ගනිඳු ලක්ෂාන් (Sri Lions) 

Havelock සහ මහනුවර  

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හඳුන්වාදිය හැකි. 

තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් දෙකක් ලෙස සැලකිය හැකි මෙන්ම, දක්ෂතා පෙන්වමින් සිටින Havelock සහ මහනුවර කණ්ඩායම් ද්විත්වය ම ඉතා හොඳ මානසික මට්ටමක සිට තරගයට අවතීර්ණ වූ අතර, තරගයේ පළමු අර්ධය නිමා වන විට සම්පූර්ණයෙන්ම තරගයේ ග්‍රහණය සියතට ගැනීමට Havelock ක්‍රීඩකයින් විසින් සමත් වුනේ ලකුණු 20ක් ලබා ගනිමිනුයි. කෙසේ වෙතත් මේ අතරවාරයේ දී මහනුවර ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ද මහනුවර ක්‍රීඩකයින්ව සිතු සේ ලකුණු හඹා යාමෙන් වළක්වා ලීමට Havelock කණ්ඩායම සමත් වූ නමුත්, ඔවුන්ට ද මෙම අර්ධය තුළ ලකුණු ලබා ගැනීමට කිසිදු ඉඩක් ලැබුණේ නැහැ. තරගයේ අවසන් මිනිත්තු කිහිපය වන විටත් ලකුණු තත්වය 20-17ක් ලෙස Havelock ක්‍රීඩකයින් පෙරමුණේ රැඳුණු අතර, තරගය නිමා වීමට මිනිත්තුවකට ආසන්න කාලයක් තිබිය දී මහනුවර ක්‍රීඩක දිනාල් ඒකනායක විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් තරගයේ තීරණය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට පෙරළුණා. 

ඒ අනුව මෙවර ලීගය තුළ Havelock කණ්ඩායම පවත්වාගෙන ආ අපරාජිත ගමන ද මෙතෙකින් නිමාවට පත් වනවා. 

  • Havelock 20 (2T, 2C, 2P) – මහනුවර 24 (3T, 3C, 1P) 

තරගයේ වීරයා තරිඳු චතුරංග (මහනුවර ක්‍රීඩා සමාජය) 

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<