රග්බි ක්‍රීඩාවට ඇලුම් කරන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත් කම්පා කරමින් CR&FC කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය නොපිරිහෙලා ලබා දුන් යොවුන් රග්බි ක්‍රීඩක කෝකිල සම්මන්දපෙරුම දෙසැම්බර් 30 වැනිදා අලුයම හදිසි අනතුරකින් මෙලොව හැර ගියේ ලක්වාසි ක්‍රීඩාලෝලීන්ගේ නෙතඟ කඳුළක් ඉතිරි කරමිනි.
CR&FC ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට
වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු මෙන්ම වර්තමාන CR&FC කණ්ඩායමේ ප්‍රබල….
කෝකිල යනු ඉතා නිහතමානී, කාගෙත් සිත් දිනා ගත්, ඕනෑම මොහොතක මුවඟ සිනහවකින් සරසා ගත් ඉතා ප්‍රියමනාප යෞවනයෙකු බව ඔහු ළඟින් ඇසුරු කළ පිරිස මෙන්ම ඔහු පිළිබඳ යම් හෝ දැනීමක් තිබූ ඕනෑම අයෙකු දන්නා කරුණක්. එවන් පෞරුෂයකින් හෙඹි ක්‍රීඩකයෙකු අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් ඉතාමත් අභාග්‍ය සම්පන්න මරණයකට ගොදුරු වේ යැයි සිහිනෙකින්වත් අප බලාපොරොත්තු නොවූ දෙයකි.
තම ආදරණීය සඟයාගේ වෙන්වීමෙන් පසු ක්‍රීඩා කරන පළමු තරගය පසුගිය සෙනසුරාදා (5) CR&FC ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිවයි. ඒ සඳහා ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් රැස්ව සිටි අතර එය ඉතාමත් හැඟුම්බර අවස්ථා රැසකින් පිරී ගිය අමතක නොවන තරගයක් ලෙස කාගෙත් සිත් තුලට කාවැඳී ඇති බව නොඅනුමානයි.
තරග ආරම්භයට පෙර කෝකිල වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් සංවිධානය කිරීමට CR කළමනාකාරිත්වය පියවර ගෙන තිබූ අතර ඔහු ඉතාමත් ආඩම්බරයෙන් පැළදී අංක 1 ජර්සිය ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් ඔහුගේ දෙමාපියන් වෙත භාර කිරීම සිදු කෙරිණි.
ආබාධ තත්වයක් හේතුකොට ගෙන ක්‍රීඩා පිටියෙන් ඉවත් සිටින නායක කවිඳු පෙරේරා වෙනුවෙන් තරින්ද රත්වත්තේ සහ ඔමල්ක ගුණරත්න සංඛේතාත්මකව මෙසේ කෝකිලගේ මව සහ පියා වෙත නිල ජර්සිය පිළිගැන්වීම සිදු කරන ලදි.
ඊට අමතරව ගෙවුණු සතිය තුල ක්‍රියාත්මක වූ සියලුම තරග ආරම්භ කිරීමට මත්තෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වමින් නැසී ගිය මිතුරා වෙනුවෙන් සිය ගෞරව පුද කිරීමට ක්‍රීඩා සමාජ අටේම ක්‍රීඩකයින් ඇතුළුව තරග නැරඹීමට පැමිණි සියල්ලෝ කටයුතු කළහ.
CR කණ්ඩායම සමඟ එක්වූ හැව්ලොක් සමාජයේ ක්‍රීඩකයින් කළු පටි පැළඳ ක්‍රීඩා කරමින් තම සමකාලීන මිතුරා හට ආචාර කිරීම කැපී පෙනුණි.
සියලු දෙනාගේම ගෞරවාදරයට මෙතරම් ලක්වීමෙන් පසක් වන කරුණක් නම් ඔහු ක්‍රීඩාවට එහා යමින් මිනිසුන්ගේ හදවත් උපයා ගනිමින් කිසිදා නොමියෙන සදාකාලික මතක සටහන් ගොන්නක් ඔවුන්ගේ හදවත්වල ඉතුරු කර ගිය බවයි.
කෝකිල සම්මන්දපෙරුම, රග්බි පිටියට ඔබ නැති අඩුව අදත් හෙටත් ඉදිරියටත් දැනෙනවා ඇති, නමුත් ඔබගේ කෙටි දිවි ගමන තුල කළ කී දෑ, ඔබ අත්පත් කර ගත් දෑ, උපයා ගත් දෑ කිසිදා අපගේ සිත් තුලින් වියැකී නොයන බව අපට සහතිකයි.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<