හිරුණි හංසිකා තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

Major Club Women’s 50 Over Tournament 2024

82

හිරුණි හංසිකා ගේ තුන් ඉරියව් දක්ෂතා මත ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (26) පැවැති Galle සහ Baduraliya කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Baduraliya ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක Galle කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 72ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Baduraliya ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 73ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේ තවත් පන්දු 238ක් ම ඉතිරි ව තිබිය දී යි.  

කාසියේ වාසිය දිනා ගත් Baduraliya කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි පෙළ පිතිකාරිනීයෝ අඩු ලකුණුවලට සීමා වෙද්දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ අයේෂා මධුශානි සහ මහිංසා නෙත්මිණි පන්දු 39ක දී ලකුණු 20ක සබඳතාවක් එක් කළා.  

එහි දී අයේෂා මධුශානි පන්දු 44කට මුහුණ දෙමින් ලකුණු 14ක් ද සහ නායිකා මහිංසා නෙත්මිණි පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ද ලබා ගත්තා.  

ඊට අමතර ව අනුකි ඉමංදි ලකුණු 10ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට හැකි වූයේ නැහැ.  

පන්දු යැවීමේ දී හිරුණි හංසිකා, හිරුණිකා නිවර්තනී සහ විශාරා සෙව්වන්දි කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී සෙව්මිනි සසිකලා සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි Baduraliya කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට නෙතඟි ඉසුරංජලී සහ හිරුණි හංසිකා සමත් වූවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ නෙතඟි ඉසුරංජලී ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 23ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.  

අනතුරු ව Baduraliya ඉනිම ලකුණු 71ක් වෙද්දී හිරුණි හංසිකා දැවී ගියා. ඒ වෙද්දී ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.  

ඉනිම අවසන් වන විට පූජා රශ්මි (1*) සහ ශෂිනි ගිම්හානි (2*) නොදැවී පිටියේ රැඳී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී දිල්මි ආරියාපාල සහ සෙනුරි වාසනා කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු සටහන් පුවරු 

Galle CC – සියලුම දෙනා දැවී 72 (30.5) මහිංසා නෙත්මිණි 13, අයේශා මධුශානි 14, විහාරා සෙව්වන්දි 2/14, හිරුණිකා නිවර්තනී 2/08, හිරුණි හංසිකා 2/07 

 

Baduraliya CC – කඩුලු 2ක් දැවී 73 (10.2) නෙතඟි ඉසුරංජලී 15, හිරුණි හංසිකා 40, දිල්මි ආරියපාල 1/16 

 

Baduraliya කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<