බිඳ වැටෙමින් ගිය තම කණ්ඩායමේ ඉනිම ගොඩ නගා ගනිමින් සහ එතැනින් නතර නොවී පන්දු යැවීමේ දී ද ප්‍රතිවාදීන්ගේ කොඳුනාරටිය බඳු පිතිකරුවන් තිදෙනෙක් අඩු ලකුණුවලට සීමා කරමින් ජනිශ්ක පෙරේරා පෑ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පළමු දිනය සැනසීමෙන් අවසන් කිරීමට Moors ක්‍රීඩකයන්ට ඉඩ සැලසුනා.
කොළඹ, හැව්ලොක් පෙදෙස Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය අඳුරු ආලෝක තත්ත්වය මත නතර කරන විට Ace Capital කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා. ඒ කාසියේ වාසිය දිනා ගත් Ace Capital නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moors ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 233ක, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමිනුයි.
ඒ අනුව තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් Ace Capital කණ්ඩායමට තවත් ලකුණු 123ක් අවශ්‍ය වන අතර ප්‍රතිවාදී Moors කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය වන්නේ කඩුලු 5ක් දවා ගැනීම පමණයි.
Moors ක්‍රිකට් කණ්ඩායම
ජනිශ්ක පෙරේරා (නායක), ඔමේෂ් මෙන්ඩිස්, රවිශාන් ද සිල්වා, ලොහාන් ද සොයිසා, විශාර ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සෙනිත හැළඹගේ, රොහාන් සංජය, යෙසිත් රූපසිංහ, චාමික හීනටිගල, හිවින් කෙනුල, ගරුක සංකේත්.
Ace Capital ක්‍රිකට් කණ්ඩායම
වනුජ සහන් (නායක), හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), තරිඳු අමරසිංහ, කවිඳු අමන්ත, තීරක රණතුංග, සකුණ ලියනගේ, රවීන් ද සිල්වා, රවිඳු රත්නායක, දනාල් හේමානන්ද, මෙලන් හංසක, සසංක නිර්මාල්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moors ඉනිම ආරම්භ කරන්නේ ඔමේෂ් මෙන්ඩිස් සහ රවිශාන් ද සිල්වා යි. මේ වමත් දකුණත් පිතිකරුවෝ තම පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 30ක දී ලකුණු 38ක සබඳතාවක් ගොඩ නගනවා.
ඔමේෂ් මෙන්ඩිස් පන්දු 17ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දැවී යන අතර ඉන් අනතුරු ව පිටියට පිවිසි ලොහාන් ද සොයිසා ද ලකුණු 7කට තම ඉනිම හැර යනවා.
එතැන් සිට යැවුණ පන්දු 9කට ලකුණු 3ක් එක් වෙද්දී රවිශාන් ද සිල්වා ගේ ඉනිම නිමා වෙනවා. රවිශාන් ද සිල්වා පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
ඒ වෙද්දී Moors ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ව තිබූ අතර සිව් වැනි කඩුල්ල සඳහා නායක ජනිශ්ක පෙරේරා සහ සෙනිත හැළඹගේ එක් ව පන්දු 100ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායමේ ඉනිම ගොඩ නැගීමට පෙරමුණ ගන්නවා.
දිවා ආහාර විවේකයට තවත් පන්දු 2ක් පමණක් ඉතිරි ව තිබෙද්දී එම කඩුල්ලේ සබඳතාව නිමා වෙන්නේ සෙනිත හැළඹගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 16ක් ලබා සිටිය දී දැවී යනවා.
අනතුරු ව පිටියට එක් වූ යෙසිත් රූපසිංහ සමඟින් එක් වූ ජනිශ්ක පෙරේරා 5 වැනි කඩුල්ලට පන්දු 96ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කරමින් Moors ඉනිම කඩුලු 5කට ලකුණු 193ක් දක්වා රැගෙන යනවා. එහි දී යෙසිත් රූපසිංහ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.
එම සබඳතාව බිඳ දැමීමට යෙසිත් රූපසිංහ ගේ කඩුල්ල දවා ගන්නා ප්‍රතිවාදී පන්දු යවන්නෝ එතැන් සිට ඉතිරි කඩුලු 5 පන්දු 87ක් යවමින් ලකුණු 40ක් තුළ දවා ගැනීමට සමත් වෙනවා.
ඒ දැවී ගිය කඩුලු අතර එතෙක් Moors කණ්ඩායම වෙනුවෙන් අගනා මෙහෙවරක නිරත වූ නායක ජනිශ්ක පෙරේරා ගේ කඩුල්ල ද වෙනවා. ඔහු 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 92ක් ලබා සිටි අතර ඒ වෙද්දී Moors ඉනිම ලකුණු 222ක් ව තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී කවිඳු අමන්ත සහ රවීන් ද සිල්වා කඩුලු 3ක් බැගින් දවා ගනිද්දී, සසංක නිර්මාල්, මෙලන් හංසක, රවිඳු රත්නායක සහ වනුජ සහන් ද කඩුල්ල බැගින් දවා ගත්තා.
- Moors – Ace Capital අවසන් මහා තරගයට පෙර
- Colombo සහ Jaffna අවසන් මහා තරගයට
- වමත් කසකරුවන්ගේ පෙරමුණේ රාළ “කමිඳු”
- නවසීලන්තයට එරෙහිව ලද ජයත් සමඟින් ශ්‍රී ලංකාව ලෝක ශූරතා සටනේ ඉදිරියට
- Moors සහ Ace Capital අවසන් මහා තරගයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Ace Capital කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය තම 2 වැනි පන්දුවාරය යවමින් සිටි ජනිශ්ක පෙරේරා විසින් දවා ගනිමින් Moors කණ්ඩායමේ කඩුලු දඩයම ආරම්භ කළා.
එහි දී ආරම්භක පිතිකරු හිරාන් ජයසුන්දර ලකුණු 4කට ද සහ කවිඳු අමන්ත ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් ද දවා ගැනීමට ඔහු සමත් වෙනවා.
අනතුරු ව ප්‍රතිවාදී කණ්ඩායමේ තෙවැනි කඩුල්ල දවා ගැනීමට ද ජනිශ්ක පෙරේරා දායකත්වය දක්වන්නේ කදිම පන්දු පිරිනැමීමකින්. එහි දී ප්‍රතිවාදී පිලේ නායක වනුජ සහන් ලකුණු 10ක් ලබා තිබිය දී පිටියෙන් ඉවත් වෙන්නේ දුවද්දී දැවී යෑමට ගොදුරු වෙමිනුයි.
ඒ වෙද්දී Ace Capital ඉනිම ලකුණු 23 නතර ව තිබූ අතර සිව් වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කිරීමට තරිඳු අමරසිංහ සහ තීරක රණතුංග සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට ද නැවත ක්‍රියාත්මක වෙන්නේ ජනිශ්ක පෙරේරා යි.
එවර කඩුල්ල අහිමි කර ගන්නේ තරිඳු අමරසිංහ. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නවා.
ඉන් අනතුරු ව ගරුක සංකේත් විසින් යැවුණ පළමු පන්දුවේ දී ම තීරක රණතුංග ගේ කඩුල්ල ද Ace Capital කණ්ඩායමට අහිමි වෙනවා. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිම කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 53ක් ලෙසයි.
එතැන් සිට සංවිධානාත්මක ලකුණු ගොඩ නැගීමක නිරත වූ සකුණ ලියනගේ සහ රවීන් ද සිල්වා තරගය පළමු දිනයට නතර කරන විට 6 වැනි කඩුල්ලට පන්දු 77ක දී නොදැවුණ ලකුණු 57ක සබඳතාවක් එක් කර ගත්තා.
එහි දී රවීන් ද සිල්වා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ද සහ සකුණ ලියනගේ පන්දු 40ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද මේ වෙද්දී ලබා සිටිනවා.
කඩුලු දවා ගැනීමේ දී ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට ජනිශ්ක පෙරේරා සමත් වු අතර ගරුක සංකේත් ට කඩුල්ලක් හිමි වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (58.1) ඔමේෂ් මෙන්ඩිස් 27, රවිශාන් ද සිල්වා 23, ජනිශ්ක පෙරේරා 92, යෙසිත් රූපසිංහ 33, කවිඳු අමන්ත 3/10, රවීන් ද සිල්වා 3/32
Ace Capital – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 110 (24.0) තරිඳු අමරසිංහ 20, සකුණ ලියනගේ නොදැවී 18, රවීන් ද සිල්වා නොදැවී 38, ජනිශ්ක පෙරේරා 3/29
හෙට (05) මෙම තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.