Ace Capital යොවුන් ශූරතාව දිනා ගනී

68
Major Club U23 Tournament - Final -Day 2

සසංක නිර්මාල් සහ දනාල් හේමානන්ද එක් ව 9 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 166ක සබඳතාවත් සමඟින් Moors කණ්ඩායමට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලැබූ Ace Capital ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරතාව දිනා ගත්තා.  

කොළඹ, හැව්ලොක් පෙදෙස Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමු වෙන් පන්දුවට පහර දුන් Moors කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Ace Capital ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 317ක් ලබා ගත්තා. ඉන් අනතුරු ව නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moors කණ්ඩායම තරගය නතර කරන විට තම දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබා සිටියා.

තරගයේ අවසන් දිනය ක්‍රියාත්මක වන විට කඩුලු 5කට ලකුණු 110ක් ලබා සිටි Ace Capital ක්‍රීඩකයන්ගේ ඉනිම ඉන් අනතුරු ව කියැවුණේ කඩුලු 8කට ලකුණු 129ක් ලෙසයි. එතැන් සිට පිටියේ එක් වූ සසංක නිර්මාල් සහ දනාල් හේමානන්ද එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 260ක දී ලකුණු 166ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා.

එහි දී දනාල් හේමානන්ද පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිම අවසන් වන විට සසංක නිර්මාල් පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා සිටියා. ඔහු අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නායක ජනිශ්ක පෙරේරා ලකුණු 52කට කඩුලු 3ක් ද සහ යෙසිත් රූපසිංහ ලකුණු 53කට කඩුලු 3ක් ද දවා ගත් අතර ඊට අමතර ව රොහාන් සංජය, චාමික හීනටිගල සහ ගරුක සංකේත් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 84ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ Moors ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 124ක් ලබා සිටියා. එහි දී ආරම්භක වමත් පිතිකරු ඔමේෂ් මෙන්ඩිස් පන්දු 26ක් පමණක් වැය කරමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

ඔහු තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන ලද රවිශාන් ද සිල්වා (16) සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 66ක් ද එක් කළා. ඔහුට අමතර ව තරගය නතර කරන විට තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනූ යෙසිත් රූපසිංහ පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී මෙලන් හංසක ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත් අතර දැවී ගිය අනෙක් කඩුල්ල කවිඳු අමන්ත සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (58.1) ඔමේෂ් මෙන්ඩිස් 27, රවිශාන් ද සිල්වා 23, ජනිශ්ක පෙරේරා 92, යෙසිත් රූපසිංහ 33, කවිඳු අමන්ත 3/10, රවීන් ද සිල්වා 3/32

 

Ace Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (80.4) තරිඳු අමරසිංහ 20, සකුණ ලියනගේ 24, රවීන් ද සිල්වා නොදැවී 106, දනාල් හේමානන්ද 70, ජනිශ්ක පෙරේරා 3/52, යෙසිත් රූපසිංහ 3/53,

 

Moors – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී කඩුලු 3ක් දැවී 124 (19.2) ඔමේෂ් මෙන්ඩිස් 50, යෙසිත් රූපසිංහ නොදැවී 30, මෙලන් හංසක 2/17

තරගයේ විසඳුමක් නෑ.

  • අවසන් මහා තරගයේ වීරයා – සසංක නිර්මාල් (Ace Capital ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – විහස් තෙව්මික (Tamil Union ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – රවිශාන් ද සිල්වා (Moors ක්‍රීඩා සමාජය)
  • තරගාවලියේ වීරයා – යෙසිත් රූපසිංහ (Moors ක්‍රීඩා සමාජය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<