විස්සයි විස්ස ශූරතාව NCC කණ්ඩායමට

Major Clubs T20 Tournament

141
Major Clubs T20 Tournament

Bloomfield කණ්ඩායමට එරෙහි ව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් NCC ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද (28) සමත් වූවා.

කොළඹ, P Sara Oval පිටියේ දී පැවැති අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Bloomfield ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 54ක් පමණයි. එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට NCC ක්‍රීඩකයෝ සමත් වූ අතර සම්පූර්ණ තරගයට ම වැය වූයේ පන්දුවාර 16ක් පමණක් වීම කැපී පෙණුනා.

ඉන් පන්දුවාර 10.1ක් Bloomfield ක්‍රීඩකයන් වෙනුවෙන් ද සහ පන්දුවාර 5.5ක් NCC ක්‍රීඩකයන් වෙනුවෙන් ද වැය වුනා.

NCC කණ්ඩායම – නිරෝෂන් දික්වැල්ල (නායක / කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, කවින් බණ්ඩාර, චාමික ගුණසේකර, දුශ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය සහ මතීෂ පතිරණ.

Bloomfield කණ්ඩායම – නිපුන් කරුණානායක (නායක), හසිත අමරසිංහ, හසිත බෝයගොඩ, රොන් චන්ද්‍රගුප්ත, කසුන් අබේරත්න (කඩුලු රකින්නා), තරින්ද ගුරුගේ, ලහිරු මධුශංක, රවිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ඉසිත විජේසුන්දර සහ සහන් නානායක්කාර.

කාසියේ වාසිය දිනා ගත් NCC නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Bloomfield කණ්ඩායම ආරම්භයේ සිට ම දුර්වල ඉනිමකයි නිරත වූයේ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය පන්දු 15ක් තුළ ලකුණු 10ක දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට NCC පන්දු යවන්නෝ සමත් වූවා.

ඒ අනුව හසිත අමරසිංහ (1), රොන් චන්ද්‍රගුප්ත (5) සහ නායක නිපුන් කරුණානායක (2) තම ඉනිම් වේලාසනින් අවසන් කර ගත්තා. ඉන් අනතුරු ව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට හසිත බෝයගොඩ සහ කසුන් අබේරත්න සමත් වූවා.

ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ලට පන්දු 18කට මුහුණ දෙමින් ලකුණු 20ක් එක් කළා. හසිත බෝයගොඩ පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතා බිඳ වැටුණා.

අනතුරු ව පිට පිට පන්දු 2ක දී තරින්ද ගුරුගේ (0) සහ ලහිරු මධුශංක (0) ද දවා ගැනීමට NCC පන්දු යවන්නෝ සමත් වූවා. කසුන් අබේරත්න ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දු 8ක දී ඉතිරි කඩුලු 3 ද බිඳ වැටුණා. එහි දී අසාර්ථක වූයේ ජෙෆ්රි වැන්ඩර්සේ (5), රවිඳු ප්‍රනාන්දු (11) සහ ඉසිත විජේසුන්දර (1) යි. Bloomfield ඉනිමේ නොදැවී පිටියේ රැදී සිටියේ සහන් නානායක්කාර (0) යි.

Bloomfield කණ්ඩායම අමාරුවේ දැමීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 5කට කඩුලු 3ක් දවා ගත් අතර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කඩුලු 2ක් බැගින් ද, සහන් ආරච්චිගේ, චාමික ගුණසේකර සහ දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

NCC පිළිතුරු ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ නායක නිරෝෂන් දික්වැල්ල විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 12ක් තුළ ලකුණු 25ක් එක් කළා. පැතුම් නිස්සංක පන්දු 10ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

අනතුරු ව පිටියට පිවිසි ලහිරු උදාරට ද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට හැකි වූයේ නැහැ. ඔහු අද තරගයේදී ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි.

කඩුලු 2ක් දැවී ලකුණු 55ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණයෙන් කෙළවර කරද්දී නිරෝෂන් දික්වැල්ල පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටි අතර කමිල් මිෂාර පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

NCC ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය රවිඳු ප්‍රනාන්දු සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Bloomfield – සියලුම දෙනා දැවී 54 (10.1) හසිත බෝයගොඩ 13, කසුන් අබේරත්න 13, චාමික කරුණාරත්න 2/21, ලසිත් ඇඹුල්දෙණිය 3/05, මතීෂ පතිරණ 2/09

NCC – කඩුලු 2ක් දැවී 55 (5.5) පැතුම් නිස්සංක 18, නිරෝෂන් දික්වැල්ල නොදැවී 15, රවිඳු ප්‍රනාන්දු 2/25

NCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා – ලසිත් ඇඹුල්දෙණිය (NCC)
  • තරගාවලියේ වීරයා – චාමික කරුණාරත්න (NCC)

තරගාවලියේ දක්ෂතම පිතිකරු – පවන්ත වීරසිංහ (Ace Capital)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අකිල ධනංජය (Colts)

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<