Major එක්දින ශූරතාව Ace Capital කණ්ඩායමට

SLC Major Clubs 50 Overs Tournament 2024

34
Major Club 50 Over Tournament - Final Match Report

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Ace Capital කණ්ඩායම අද (11) සමත් වුනා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ ප්‍රබල CCC කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කීවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් CCC කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Ace Capital කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 254ක් ලබා ගත්තා.

අවසන් මහා තරගය, කොළඹ, අගෝස්තු 11, 2024, Major Club 50 Over Tournament

  • කාසියේ වාසිය – Ace Capital
  • ක්‍රීඩාංගණය – SSC ක්‍රීඩාංගණය, කොළඹ 7.

Ace Capital කණ්ඩායම:

තනුක දාබරේ (නායක), හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), පවන්ත වීරසිංහ, රවීන් ද සිල්වා, සම්මු අශාන්, සකුණ ලියනගේ, වනුජ සහන්, රවිඳු රත්නායක, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක, හර්ෂ කුරේ.

 

අතිරේක – කවිඳු අමන්ත, තීරක රණතුංග, තරිඳු අමරසිංහ, දනාල් හේමානන්ද

CCC කණ්ඩායම:

ලක්ෂාන් සඳකැන් (නායක), විනුශ්ක සිල්වා, ලසිත් කෲස්පුල්ලේ, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), පවන් රත්නායක, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, අශාන් ප්‍රියංජන්, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, දුවිඳු රණතුංග.

 

අතිරේක – සඳුන් මෙන්ඩිස්, පවන් පතිරාජ, තිසරු වන්නිනායක, පවන් සංදේශ්.

වඩාත් දක්ෂ පන්දු යවන්නන් කිහිප දෙනෙක් ද සමඟින් අවසන් මහා තරගයට එක් වූ Ace Capital නායකයා කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ අනුව ප්‍රතිවාදීන්ට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හිමිකර දුන් අතර ඔහුගේ තීරණයට සාධාරණයක් ඉටු කළ Ace Capital පන්දු යවන්නෝ ප්‍රතිවාදී CCC කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 113ක් වෙද්දී දවා ගැනීමට සමත් වූනා.

ඒ වෙද්දී විනුශ්ක සිල්වා (9), ලසිත් කෲස්පුල්ලේ (33), පවන් රත්නායක (5), සොනාල් දිනූෂ (27) සහ අංජල බණ්ඩාර (29) තම ඉනිම් හැර ගොස් තිබුණා. අනතුරු ව අශාන් ප්‍රියංජන් ලකුණු 15කට ද, චතුරංග ද සිල්වා ලකුණු 3කට ද සහ චමිඳු විජේසිංහ ලකුණු 23කට ද දවා ගනිමින් CCC කණ්ඩායම තවත් අමාරුවේ දැමීමට Ace Capital පන්දු යවන්නෝ සමත් වූවා.

ඒ වෙද්දී CCC කණ්ඩායමේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 8ක් දැවී ලකුණු 165ක් ලෙසයි.

එතැන් සිට ලකුණු පුවරුවට ජීවය දීමට ඉසුරු උදාන සහ නායක ලක්ෂාන් සඳකැන් සමත් වීම කැපී පෙණුනා. ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 52ක දී ලකුණු 73ක සබඳතාවක් එක් කළා. එම ලකුණු සබඳතාවෙන් ලකුණු 66ක් ඉසුරු උදාන ලබා ගනිද්දී ලක්ෂාන් සඳකැන් ලබා ගත්තේ ලකුණු 5ක් පමණක් වීම කැපී පෙණුනා.

කෙසේ වෙතත් ඉසුරු උදාන පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 80ක් ලබා ගනිමින් දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද නිමා වූවා. ඔහු දැවී යන විට CCC කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලබා සිටියා.

අනතුරු ව ලක්ෂාන් සඳකැන් ලකුණු 15කට දැවී ගිය අතර පිටියේ නොදැවී රැඳී සිටි දුවිඳු රණතුංග ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් සහ නිම්සර අතරගල්ල කඩුලු 3ක් බැගින් දවා ගත් අතර රවිඳු රත්නායක, සම්මු අශාන්, තනුක දාබරේ සහ සිතුම් දිසානායක ද කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයන්ගේ ආරම්භය සහමුලින් ම අසාර්ථක කිරීමට ආරම්භක වේග පන්දු යැවූ ඉසුරු උදාන සමත් වුනා. ඔහු ඉනිමේ පළමු පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී හිරාන් ජයසුන්දර (0) සහ පවන්ත වීරසිංහ (0) දවා ගනිමින් CCC කණ්ඩායමට කදිම ආරම්භයක් ලබා දුන්නා.

නමුත් තෙවැනි කඩුල්ලේ දී පන්දු 49ක දී ලකුණු 59ක සබඳතාවක් එක් කිරීමට නායක තනුක දාබරේ සහ රවීන් ද සිල්වා සමත් වුනා. තනුක් දාබරේ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

අනතුරු ව රවින් ද සිල්වා හා එක් වූ සම්මු අශාන් 4 වැනි කඩුල්ලට පන්දු 142කින් ලකුණු 80ක සබඳතාවක් එක් කරමින් ද සහ සකුණ ලියනගේ සමඟ5 වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 61ක දී ලකුණු 56ක් ලබා ගනිමින් ද තරගය ජය මාවතට ගෙන ගියා.

රවීන් ද සිල්වා පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද සහ සකුණ ලියනගේ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමත් සමඟින් වනුජ සහන් ද ලකුණු 9කට දැවී ගිය අතර ඒ සමඟ තරගයේ ජයග්‍රහණය දෙපිලට ම දෝලනය වෙන්නට පටන් ගත්තා. එහෙත් එම තත්ත්වය 48 වැනි පන්දුවාරයේ දී සම්පූර්ණයෙන් ම කණපිට පෙරළීමට රවිඳු රත්නායක සමත් වූවා.

ඔහු එම පන්දුවාරයේ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගනිමින් තරගයේ පාලනය තමන් වෙත පවරා ගත්තා. ඒ අනුව ඔවුන් ඊට පසු යැවුණ පන්දු 7ක දී ප්‍රතිවාදී ඉලක්කය පසු කරන්නේ තවත් පන්දු 5ක් සහ කඩුලු 4ක් ද අතැතිවයි.

තරගය ඒ ලෙසින් නිමා වෙද්දී සම්මු අශාන් පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 97ක් ද සහ රවිඳු රත්නායක පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ සහ ඉසුරු උදාන කඩුලු 2ක් බැගින් ද, චතුරංග ද සිල්වා සහ දුවිඳු රණතුංග කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

CCC – සියලුම දෙනා දැවී 251 (45.5) ලසිත් කෲස්පුල්ලේ 33, අංජල බණ්ඩාර 29, සොනාල් දිනූෂ 27, චමිඳු විජේසිංහ 23, ඉසුරු උදාන 80, නිම්සර අතරගල්ල 3/55, වනුජ සහන් 3/47

 

Ace Capital – කඩුලු 6ක් දැවී 254 (49.1) තනුක දාබරේ 48, රවීන් ද සිල්වා 38, සම්මු අශාන් නොදැවී 97, සකුණ ලියනගේ 25, රවිඳු රත්නායක නොදැවී 22, ඉසුරු උදාන 2/47, සොනාල් දිනූෂ 2/33

 

Ace Capital කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

  • තරගයේ වීරයා – සම්මු අශාන් (Ace Capital)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඩිල්ශාන් මුණවීර (Negombo)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – ක්‍රිශාන් සංජුල (SSC)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – තනුක දාබරේ (Ace Capital)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<