බාලගිරි දෝෂය අහවරයි, එක්දින තරගාවලි 10 වැනිදා සිට

Major Club 50 Over Tournament 2024

87

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වෙනවා.  

කාණ්ඩ 2ක් යටතේ පැවැත්විමට යෝජිත මෙම ක්‍රිකට් තරගාවලිය මීට පෙර අවස්ථා කිහිපයක දී ම ආරම්භ කිරීමට සියලු විධිවිධාන යොදා තිබුණ ද රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගාවලිය කල් දැමීමට ඔවුන්ට සිදු වූවා. 

කෙසේ වෙතත් මෙම තරගාවලිය මෙසේ කල් යෑමත් සමඟින් මෙවර මෙම තරගාවලිය සංවිධානය වන්නේ අදියර 2ක් යටතේ යි. ඒ අනුව මේ ජුනි මස 10 වැනිදා ආරම්භ වන තරගාවලිය ජුනි මස 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර එතැන් සිට මාසයකට අධික කාලයක් තරගාවලිය අත්හිටවෙනවා. ඒ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙනුයි.  

අනතුරු ව නැවත තරගාවලිය ආරම්භ වෙන්නේ ජුලි මස 26 වැනිදායි. එතැන් සිට පළමු වටයේ තරග අගෝස්තු මස 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර කාණ්ඩ 2 ශූරයන් හා අනුශූරයන් එක් ව සැකසෙන අවසන් පූර්ව තරග අගෝස්තු මස 8 වැනිදා ද සහ එම තරග ද්විත්වයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය අගෝස්තු මස 11 වැනිදා ද පැවැත්වෙනවා.  

අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධාවක් සිදු වෙන්නේ නම් ඊට පසුදා එම තරගය පැවැත්වීමට ද මෙම කාලසටහනේ ඉඩ ලබා දී තිබෙනවා.  

තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම් 

  • A කාණ්ඩය – SSC, Negombo CC, BloomfieldC & AC, NCC, Chilaw MCC, Ragama CC, Tamil Union C & AC, Panadura SC, ACE Capital CC.
  • B කාණ්ඩය – Colts CC, Baduraliya CC, CCC, Moors SC, Nugegoda S & WC, Police SC, Kandy Custom SC, BRC, Kurunegala YCC.

මෙවර තරගාවලියේ දී ගිය වර ශූරයන් වූ SSC කණ්ඩායම මෙවර A කාණ්ඩයයෙන් තරගාවලියට එක් වූව ද ගිය වර අනුශුරයන් වූ Sebastianites C & AC කණ්ඩායමට මෙවර පළමු පෙළ තරගාවලියට එක් වීමට වරම් ලැබෙන්නේ නැහැ. ඒ පසුගිය වසරේ Major Club තෙදින තරගාවලියේ දී ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානවලට පිවිසි බැවින් පළමු පෙළ තරගාවලියෙන් ඉවත් කිරීම හේතුවෙනුයි.  

ඔවුන් සමඟින් ගිය වර තරගාවලියට එක් වූ Galle CC, Sri Lanka Air Force සහ Sri Lanka Army යන කණ්ඩායම් ද එම හේතුව නිසා ම මෙවර තරගාවලියට සහභාගී වීමේ වරම් අහිමි කර ගත්තා.  

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<