CCC සහ Ace Capital අවසන් මහා තරගයට

Major Club 50 Over Tournament 2024

36
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා CCC කණ්ඩායම සහ Ace Capital කණ්ඩායම අද (08) සුදුසුකම් සපුරා ගත්තා.

ඒ පිළිවෙළින් SSC කණ්ඩායම සහ Moors කණ්ඩායම පරාජය කරමිනුයි.

කොළඹ P. Sara Oval පිටියේ දී පැවැති CCC කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට CCC ක්‍රීඩකයෝ සමත් වූවා. මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 239ක් ලබා ගත් අතර එම ඉලක්කය 36 වැනි පන්දුවාරයේ දී සපුරා ගැනීමට CCC ක්‍රීඩකයෝ සමත් වුනා.

එම ඉනිම වෙනුවෙන් පවන් රත්නායක පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 157ක් ලබා ගත්තා. ඊට අමතර ව අංජල බණ්ඩාර ද පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 224ක සබඳතාවක් එක් කිරීම ද කැපී පෙණුනා.

පවන් රත්නායක විසින් අද වාර්තා කළ ඉනිම ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම ඉනිම බවට පත් වූ අතර එම ලකුණු සංඛ්‍යාවත් සමඟින් ඔහු පළමු පෙළ එක්දින ලකුණු 2000 කඩඉම පසු කිරිමට ද සමත් වූවා.

SSC ඉනිම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහුට අමතර ව ක්‍රිශාන් සංජුල ද පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චතුරංග ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බැගින් දවා ගත්තා.

මේ අතර කොළඹ SSC පිටියේ දී පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Ace Capital කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 222ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Moors කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

Ace Capital ඉනිම වෙනුවෙන් සම්මු අශාන් සහ වනුජ සහන් අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා. ඒ අතුරින් සම්මු අශාන් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිද්දී වනුජ සහන් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දනුශ්ක උදාර ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර පසිඳු සූරියබණ්ඩාර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

Moors ඉනිමේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ පසිඳු සූරියබණ්ඩාර. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ආරම්භක වේග පන්දු යැවූ සිතුම් දිසානායක ලකුණු 40කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව නිම්සර අතරගල්ල ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගවල කෙටි ලකුණු පුවරු

SSC සහ CCC අතර තරගය, කොළඹ P. Sara Oval පිටියේ දී

 

SSC – සියලුම දෙනා දැවී 239 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 42, ශෙවෝන් ඩැනියෙල් 24, ක්‍රිශාන් සංජුල 41, චරිත් අසලංක 37, නුවනිඳු ප්‍රනාන්දු 61, චතුරංග ද සිල්වා 3/41, සොනාල් දිනූෂ 2/32, ලක්ෂාන් සඳකැන් 3/44

 

CCC – කඩුලු 2ක් දැවී 245 (35.3) අංජල බණ්ඩාර නොදැවී 60, පවන් රත්නායක නොදැවී 157, ප්‍රමෝද් මධුශාන් 1/43

 

CCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Ace Capital සහ Moors අතර තරගය, කොළඹ 7, SSC ක්‍රීඩාංගණයේ දී

 

Ace Capital – සියලුම දෙනා දැවී 222 (49.3) තනුක දාබරේ 43, සම්මු අශාන් 62, වනුජ සහන් 60, රමේෂ් මෙන්ඩිස් 2/40, පසිඳු සූරියබණ්ඩාර 2/27, දනුශ්ක උදාර 4/39

 

Moors – සියලුම දෙනා දැවී 124 (25.4) සොහාන් ද ලිවේරා 21, පසිඳු සූරියබණ්ඩාර 43, සිතුම් දිසානායක 4/40, නිම්සර අතරගල්ල 3/33

 

Ace Capital කණ්ඩායමට ලකුණු 98ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<