කොළඹ 7 Major Club ගැටුම

SLC Major Club 3 Day Tournament

17
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 5 වැනිදා සිට සිව් දින තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත් වීමට නියමිතයි.

මෙම තරගය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් ප්‍රසාද ලකුණු 104.76ක් ලබා ගත් Bloomfield කණ්ඩායම ද සහ B කාණ්ඩය නියෝජනය කරමින් ප්‍රසාද ලකුණු 114. 985ක් ලබා ගත් NCC කණ්ඩායම ද සුදුසුකම් ලබා තිබෙනවා.

 Bloomfield සහ NCC කණ්ඩායම අවසන් තරගය දක්වා ආ ගමන් මඟ

Bloomfield C & AC NCC
1 Ragama කණ්ඩායමට එරෙහි ව කඩුලු 2ක ජයක්. Kandy Customs කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක ජයක්.
2 Colts තරගය විසඳුමක් නෑ. BRC කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණු 87ක ජයක්.
3 Chilaw කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණු 4ක ජයක්. Tamil Union තරගය විසඳුමක් නෑ.
4 Negombo තරගය විසඳුමක් නෑ. Nugegoda තරගය විසඳුමක් නෑ.
5 Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 61ක ජයක්. CCC තරගය විසඳුමක් නෑ.
6 Ace Capital තරගය විසඳුමක් නෑ. Moors කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණු 68ක ජයක්.
7 Panadura තරගය විසඳුමක් නෑ. SSC තරගය විසඳුමක් නෑ.
8 Badureliya කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණු 47ක ජයක්. Kurunegala තරගය විසඳුමක් නෑ.

Bloomfield කණ්ඩායම

නිපුන් කරුණානායකගේ නායකත්වයෙන් යුත් Bloomfield කණ්ඩායම මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ පැවැති තරගවල තරග 4ක පූර්ණ ජයග්‍රහණ ලබා ගනිමිනුයි.

ඒ ආ ගමනේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රොන් චන්ද්‍රගුප්ත. ඔහු තරග 8ක ඉනිම 13කට මුහුණ දෙමින් ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 488ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.

එහි 2 වැනි ස්ථානය තරග 8ක ඉනිම් 13ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 455ක් ලබා ගත් නායක නිපුන් කරුණානායක ද 3 වැනි ස්ථානය තරග 8ක ඉනිම් 13ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 411ක් ලබා ගත් රවිඳු ද සිල්වා ද රැඳී සිටිනවා.

ඊට අමතර ව කණ්ඩායම මේ දක්වා පැමිණි ගමනේ දී කසුන් අබේරත්න දැක් වූ දක්ෂතාවන් ද අමතක කළ නොහැකියි. කණ්ඩායමේ තවත් ශතකලාභියෙක් වන ඔහු ඉනිම 12ක දී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් වෙනවා. එමෙන් ම ලහිරු මදුශංක අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 270ක් ලබා ගනිමින් ද සහ අසිත වන්නිනායක අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 207ක් ලබා ගනිමින් ද විශ්වසනීය පිතිකරුවන් ලෙසින් කණ්ඩායම හා එක් ව සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම ලැයිස්තු ගත වෙන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන රවිඳු ප්‍රනාන්දු. ඔහු ඉනිම 16ක දී කඩුලු 49ක් දවා ගන්නේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 3ක් ද වාර්තා කර ගනිමිනුයි.

ඊට අමතර ව වමතින් දඟ පන්දු යවන සහන් නානායක්කාර කඩුලු 33ක් දවා ගනිමින් ද සහ ඉසිත විජේසුන්දර කඩුලු 19ක් දවා ගනිමින් ද විශ්වසනීය පන්දු යවන්නන් ලෙසින් ලැයිස්තු ගත ව සිටිනවා.

Bloomfield සංචිතය

 

නිපුන් කරුණානායක (නායක), යොහාන් ද සිල්වා, රොන් චන්ද්‍රගුප්ත, අසිත වන්නිනායක, රවිඳු ප්‍රනාන්දු, කසුන් අබේරත්න (කඩුලු රකින්නා), ලහිරු මදුශංක, සහන් නානායක්කාර, ඉසිත විජේසුන්දර, ජෙෆ්රි වැන්ඩර්සේ, තරින්ද ගුරුගේ, මිනෙත් ප්‍රේමරත්න, හසිත බෝයගොඩ, කවීෂ පියුමාල්, මිහිරංග සිල්වා, චතුර රන්දුණු.

 

නිලධාරීන්:

 

උපාලි සේනාරත්න (කළමණාකරු), තරංග ධම්මික (ප්‍රධාන පුහුණුකරු), සුනෙත් ගුණතිලක (සහාය පුහුණුකරු) තිනෙත් ජයසූරිය (Trainer), ප්‍රශාන් වික්‍රමසිංහ (Throwdown Specialist), අනුරාධ නිස්සංක (Masseur), චානක ක්‍රිශාන්ත (ලකුණු සටහන්කරු)

NCC කණ්ඩායම

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සහ කරන ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයකින් සමන්විත NCC කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමි ව ඇත්තේ සහන් ආරච්චිගේ වෙතයි. ඔවුන් මෙවර තරගාවලිය නිමා කරන්නේ පූර්ණ ජයග්‍රහණ 3ක් ලබා ගනිමිනුයි.

මෙතෙක් ආ ගමනේ දී කණ්ඩායමේ ඉහළ ම දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් ව ඇත්තේ කමිල් මිෂාර. ඔහු තරග 8ක ඉනිම 13ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 713ක් ලබා සිටිනවා.

ඊට අමතර ව එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය ලහිරු උදාර වෙත හිමි ව තිබෙනවා. ඔහු ඉනිම 13කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 642ක්. ඊට Moors කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ද්විත්වය ශතකයක්, BRC කණ්ඩායමට ලබා ගත් ශතකයක් සහ තවත් අර්ධ ශතක 2ක් ද ඇතුලත් වෙනවා.

මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය හිමි වෙන්නේ නායක සහන් ආරච්චිගේ වෙතයි. ඔහු ඉනිම 13ක දී ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 594ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 59.40ක් ලෙසින් ඉහළ අගයක් රඳවා ගැනීමට ද ඔහු සමත් වෙන අතර එය NCC කණ්ඩායමේ ඉහළ ම ලකුණු ලබා ගැනීමේ ප්‍රතිශතයයි.

ඊට අමතර ව නිරෝෂන් දික්වැල්ල ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 522ක් ද, කවින් බණ්ඩාර ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 544ක් ද, අහන් වික්‍රමසිංහ ශතකයක් සහ අර්ධ ශතයක් සමඟින් ලකුණු 380ක් ද සහ අශේන් ඩැනියෙල් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 225ක් ලබා ගනිමින් ද කණ්ඩායමේ සිටින විශ්වසනීය පිතිකරුවන් බවට පත් ව සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ අශේන් ඩැනියෙල්. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 22ක්. ඊට අමතර ව චාමික කරුණාරත්න කඩුලු 18ක්, අසේල් සිගේරා කඩුලු 16ක්, ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 13ක් සහ සම්පත් නිශ්ශංක කඩුලු 12ක් දවා ගනිමින් විශ්වසනීය පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට එක් ව සිටිනවා.

NCC සංචිතය

 

සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ලහිරු උදාර, කමිල් මිෂාර, අහන් වික්‍රමසිංහ, කවින් බණ්ඩාර, අසේල් සිගේරා, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, සම්පත් නිශ්ශංක, දුශ්මන්ත චමීර, අශේන් ඩැනියෙල්, ලසිත් ඇඹුල්දෙණිය, චාමික ගුණසේකර, සචිඳු කොළඹගේ.

 

නිලධාරීන්:

 

ඒ. ෆ්‍රැන්කි (කළමණාකරු), ඉයන් ඩැනියෙල් (ප්‍රධාන පුහුණුකරු), කිත්රුවන් විතානගේ (සහාය පුහුණුකරු), ලක්ෂාන් කලුදීර (සහාය පුහුණුකරු), චන්දුල ලියනගේ (Trainer), සමන් අමරකෝන්  (ලකුණු සටහන්කරු).

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<