ශ්‍රී ලංකාවෙන් බිහි වූ වේගවත් කඩුලු රකින්නෙකු මෙන්ම දකුණත් පිතිකරුවෙකු වූ මහේෂ් ගුණතිලක, 1952 අගෝස්තු මස 16 වැනිදා උපත ලැබුවේ සුගතදාස ගුණතිලක හා බණ්ඩාර මැණිකේ යන දෙපලගේ කුළුඳුල් දරුවා ලෙසයි.කෑගල්ල තම උපන් බිම කර ගත් මොහු මහනුවර සාන්ත අන්තෝනී විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය. ඩන්කන් වයිට් සමයේ මෙරට තුන් පිම්ම ඉසව්වෙන් ශූරයෙකු වූ මහේෂ්ගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ කැමැත්තක් හා ආදරයක් දැක්විය. මෙරට සංචාරය කළ කොදෙව් පිල හමුවේ නිල නොවන තරගයක දී ආරම්භක පිතිකරු ලෙස ශතකයක් ලබා ගත් කඩුලු රකින්නා වූ මහේෂ් රොද්‍රිගු පිළිබඳ මතකය නිසා තම අලුත උපන් දරුවාට මහේෂ් ලෙස පියා විසින් නම් තැබීය. පසුකලෙක එකී මහේෂ් යන නාමය වසර 30කට පසු ශ්‍රී ලංකා නිල ටෙස්ට් පිටියේ කඩුලු රකින්නා පමණක් නොව විටක සිදත් වෙත්තමුණි සමඟ ආරම්භක පිතිකරුවා ද විය.
“ඉවතලීම දරාගන්න පුළුවන් වීම තමයි මට නම් පළමු දේ වුනේ” – ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවෙන් බිහි වූ මේ විශිෂ්ට කඩුලු රකින්නාගේ කුඩා කල වීරයා වූයේ ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වූ මොහොමඩ් අලි ය. අලී බොක්සිං වළල්ල තුළ පාද හසුරුවමින්, දෑත වෙනස් කරමින් තරග කරන ආකාරය මහේෂ් ඉතා හොඳින් වටහා ගත්තේය. කඩුලු රකින්නාගේ භූමිකාවත් මීට සමාන බව වටහා ගත් ඔහු, මොහොමඩ් අලීගේ පුහුණු රටාවෙන් උඳුරා ගත් “Skipping rope” හෙවත් ලණු පැනීම වැඩි වැඩියෙන් ප්‍රගුණ කරමින් ශ්‍රී ලංකාවේ වේගවත්ම කඩුලු රකින්නා බවට පත් විය.
ඔහු වයස අවුරුදු 10 දී පමණ පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය. වයස අවුරුදු 16 දී 19න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන මහේෂ් ගුණතිලක, 1971 වසරේ දී පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද හිමි කර ගැනීමට සමත් විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන මහේෂ් ගුණතිලක විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ද කටයුතු කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ පැවති ක්‍රිකට් තරගයන්හිදී මහේෂ් ඉතා දක්ෂ ලෙස කඩුල්ල පිටුපස දක්ෂතා දැක්වීම හේතුවෙන් 1976 දී ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තරම් ඔහු වාසනාවන්ත විය. එතැන් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කටයුතු කළ මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ වේගවත්ම කඩුලු රකින්නා ලෙස ඉතිහාසයට එක් විය.
මහේෂ් පෙරේරා දුම්කොළ සමාගමේ සේවය කරන කාලයේ දී එහි සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ රොහාන් කරුණාරත්න, මහේෂ්ගේ ක්‍රිකට් දිවියට උදව් කළ පුද්ගලයෙකි. පසු කලෙක රොහාන් කරුණාරත්න විසින් ආරම්භ කළ මහනුවර ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කිරීමට මේ සුපිරි කඩුලු රකින්නා හට අවස්ථාව උදා විය.
දඟ පන්දුව හමුවේ කඩුලු රකින අවස්ථාවන්හිදී පිතිකරුවන් ක්ෂණයෙන් දවා ගැනීමට මනා හැකියාවක් ඇති මහේෂ් ගුණතිලක, සෑම දිනකම උදෑසන “Skipping rope” ක්‍රීඩාවේ නියැලෙමින් පාද චලනය පිළිබඳව ස්වයං අධ්‍යනයක යෙදුණු අතර විශේෂයෙන්ම සිය කාමරය තුළ ඔට්ටපාලු බෝලය බිත්තියේ ගසමින් විවිධ පැතිකඩයන්ගෙන් තමන් වෙත යොමුවන පන්දුව ග්‍රහණය කර ගනිමින් දක්ෂතාවය වැඩිදියුණු කර ගත්තේය. මහේෂ්ගේ බෑගයේ නරන්තරයෙන්ම තිබුණේ ඔට්ටපාලු බෝලයක්, ටෙනිස් බෝලයක් හා Skipping ලණුවකි.
සිදත් වෙත්තමුණි නම් දක්ෂ පිතිකරුවාගේ පළමු පෙළ ප්‍රථම තරගයේ දී ඔහු සමඟ ආරම්භක පිතිකරු වූයේ මහේෂ් ගුණතිලක වන අතර සිදත් වෙත්තමුණි ඔහුගේ පළමු ටෙස්ට් ශතකය ලබා ගත්‍තේ ද මහේෂ් ගුණතිලක සමඟින් ආරම්භක ස්ථානයේ ක්‍රීඩා කරමිනි.
1982 ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගත් කාලවකවානුව තුළ ලොව නම් දැරූ කඩුලු රකින්නන් වූයේ ඇලන් නොට් සහ රොඩ්නි මාෂ් යන දෙදෙනායි. ශ්‍රී ලංකා පිල තම පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් කඩුලු රකින්නා ලෙස නම් කළේ මහේෂ් ගුණතිලක නම් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහි වූ කඩුලු රකින්නෙකි. කොළඹ සුපිරි පන්තියෙන් දායාද නොවූ මොහු කවුරුන් දැයි මෙරට විචාරකයින් පවා ඇනුම් පද කී මොහොතක මේ නිහඬ ක්‍රීඩකයා කවුරුන් දැයි කටත් සිතා ගත නොහැකි විය.
ඒ සියල්ලටම පිළිතුරු දුන් මහේෂ් ගුණතිලක මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුලු රකින්නා වීමේ දුර්ලභ අවස්ථාව අමරණීය කළේ ටෙස්ට් තරගය අවසානයේ විචාරක සහ ප්‍රේක්ෂක ගෞරවය තමන් වෙත ලබා ගනිමිනි. ඊට අමතරව මහේෂ් ගුණතිලක නම් මේ විශේෂඥ කඩුලු රකින්නා මෙම සුවිශේෂී තරගය සඳහා තෝරා ගැනීමේ දී තේරීම් කමිටුවේ සිටි සාමාජිකයින් වූයේ මයිකල් තිසේරා, අනුරුද්ධ පොළොන්ඕවිට වැනි ප්‍රවීණයින්ය.
තමන් විසින්ම තමන්ගේ දක්ෂතාවයන් වැඩිදියුණු කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වූ මේ කඩුලු රකින්නාගේ දක්ෂතාවයන් ලොවටම හඬ නඟා කියූ විචාරකයින් අතරින් ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරේරා ඉහළින්ම සිටියි.
1982 පකිස්ථාන සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ ෆෛසලාබාත් පිටියේ මිනිත්තු 200ක කාලයක් කඩුල්ලේ රැඳෙමින් පකිස්ථාන ජයග්‍රහණය පමා කළ මහේෂ් ආරම්භ පිතිකරු ලෙස පිවිස 8 වන කඩුල්ල ලෙස දැවී යද්දී ලැබූ අර්ධ ශතකය ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වේ.
පකිස්ථාන සංචාරයේ දී පළමු ටෙස්ට් තරගයේ දී ප්‍රථම ඉනිමේ දී දවාලීම් 4කට හවුල් වූ මහේෂ් , එම තරගය තුළ දී දවාලීම් 6කට හවුල් වීමට වරම් ලද අතර ඉන් දෙකක්ම ස්ටම්ස් කිරීම් ලෙස සටහන් විය. එම පකිස්තාන සංචාරයේ ම දෙවන තරගයේ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවා ලෙස සිදත් වෙත්තමුණි සමඟ පිටියට පිවිසීමට වරම් ලද ඔහු පළමු ඉනිමේ දී අගනා ලකුණු 27ක් රැස් කළේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවයක් ගොඩනගමිනි.
කඩුල්ල පිටුපස සිට තාක්ෂණික පා හැසිරවීමත් සිතා ගත නොහැකි ලෙස සුරක්ෂිත දෑතත් වේග පන්දු යවන්නන් හමුවේ හිස් ආවරණ නොමැතිව කඩුල්ල ආසන්නයේ කළ විශ්මිත කඩුලු රැකීමත් නිසා මේ විශිෂ්ටයාගේ කඩුල්ල පිටුපස රංගනය කෙටි කලක් තුළ ක්‍රීඩාලෝලීන්ගේ සිත් ඇඳ ගත්තේ ඇලන් නොට් සහ රොඩ්නි මාෂ් දෙදෙනා අතරම සම තැනේ රැදෙමිනි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති දක්ෂ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු වූ අජිත් ද සිල්වා සහ ලලිත් කළුපෙරුම යන පන්දු යවන්නන් පන්දු යැවීමේ දී ඊට දක්ෂ ලෙස කඩුල්ල අසල වික්‍රමයන් පෑ මහේෂ් ගුණතිලක වේග පන්දු යවන්නන් හමුවේ පවා කඩුල්ල අසල සිට කඩුලු රැකීමට මහත් ළැදියාවක් දැක්විය.
ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ දිගු ගමනක පෙර නිමිති පල කරමින් සිටි මහේෂ් ඇතුළු දක්ෂයින් රැසක් ක්‍රිකට් පිටියට සමු දුන්නේ තහනම් දකුණු අප්‍රිකා සංචාරයකට එකතු වෙමිනි. එවක පැවති කළු සුදු භේදය නිසා ලොවම දකුණු අප්‍රිකාව ක්‍රීඩාවෙන් කොන් කරද්දී තහනම් ගමනක් ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිසට මෙරට පාලකයින් වසර 25ක තහනමක් පැනවීය. එලෙස තහනම් කෙරුණු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු බවට මහේෂ් ගුණතිලක පත්ව සිටියේය. පසු කලෙක මෙම කාල සීමාව අඩු කෙරුවත් ඒ සියල්ලන්ගේ හොඳම කාලය වියැකී ගොස් තිබුණි.
ඒ අනුව 1975 සිට 1982 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 5කටත් එක්දින තරග 6කටත් ක්‍රීඩා කර ඇති මහේෂ් ගුණතිලක ටෙස්ට් තරගයක දී 22.12ක පිතිකරණ සාමාන්‍යයක් හා එක්දින තරගයක දී 31.00ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් විය.
එදා මහේෂ් කඩුලු රකින්නා ලෙස ඇති කළ හිඩැස පියවන්නට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වසර ගණනක් බලා සිටින්නට සිදු විය. 1992 දී රොමේෂ් කලුවිතාරණ කණ්ඩායමේ ස්ථාවර වන තෙක් වසර 10ක් කඩුලු රකින්නන් රැසක් කණ්ඩායමට ආ වේගයෙන්ම පිටතට ද විසි විය.
ක්‍රිකට් ජීවිතය එතැනින් නැවතීමෙන් පසු වසර 14ක් කාලයක් තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන සිය පවුල් ජීවිතය ගොඩනගා ගත් ඔහු ඉන් පසුව පන්නල සිම් ලයන් ආයතනය හා සම්බන්ධ වී රාජකාරි කරන්නට විය.
තමාටම අවේණික පුහුණුවීම් රටාවක් තුළින් කඩුල්ල පිටුපස රාජකාරි අකුරටම ඉටු කළ මහේෂ් ගුණතිලක මාස 8කට ටෙස්ට් තරග 5කට පමණක් ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර එම කාලවකවානුව කෙටි වූ නමුත් මෙරට ටෙස්ට් පිටියේ පළමු කඩුලු රකින්නා ලෙස ඔහු තැබූ අමරණීය වාර්තාව නිහඬ නොවනු ඇත.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න