මහීෂ්ට ආසියා කුසලාන අවසන් තරගය අහිමි වෙයි

Asia Cup 2023

3417

හෙට (17) පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහීෂ් තීක්ෂණ හට අහිමි වී තිබෙනවා. 

පසුගිය 14 වැනිදා පාකිස්තානය සමඟ පැවැත්වුණු තීරණාත්මක තරගයේ පන්දු යවමින් සිටිය දී මහීෂ් පාදයේ ආබාධයකට ලක් වූ අතර, එම නිසා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය තරමක් අපහසුවෙන් දියත් කළ බවත් පෙනෙන්නට තිබුණා. 

කෙසේ නමුත් එම තරගයේ දී ඔහු සිය උපරිමය කණ්ඩායම වෙත ලබා දෙමින් තමන්ට නියමිත පන්දුවාර 9 තුළ ලකුණු 42ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පසුව සඳහන් කළේ මෙම ආබාධය තුන්වැනි මට්ටමේ ආබාධයක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී විසින් ද සඳහන් කළේ ආබාධය පිළිබඳ බියක් ඇති කර නොගත යුතු බවත්, ඉදිරියේ දී ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිතව නොතිබුණා නම් මහීෂ්ව හෙට තරගය වෙනුවෙන් සූදානම් කරවීමට උත්සහයක් දැරීමට පවා හැකියාව පවතින බවයි. 

“MRI ස්කෑන් පරීක්ෂණයෙන් පෙන්වන ඉරීම එතරම් විශාල ඉරීමක් නෙවෙයි. සායනිකව තීක්ෂණගේ ගැටලුවක් නැහැ. ඔහු එහාට මෙහාට යනවා සහ වැඩි වේදනාවක් දැනෙන්නේ නැහැ.

ඔහු අනිවාර්යයෙන් ම ලෝක කුසලානය සඳහා සූදානම්. ඇත්තටම අපිට ලෝක කුසලානයක් නොතිබුණා නම් අපි කොහොම හරි ඔහුව හෙට තරගයට සූදානම් කරන්න උත්සාහ කරනවා. නමුත් අපි ඒ අවදානම ගන්න කැමති නැහැ.” 

වෛද්‍ය කමිටු ප්‍රධානී අර්ජුන ද සිල්වා මහතා විසින් තීක්ෂණගේ ආබාධ තත්වය පිළිබඳ එසේ සඳහන් කර තිබුණා.

මේ අනුව හෙට තරගය වෙනුවෙන් මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්ච්ගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර ඇති නමුත් බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ හෙට තරගයේ දී මහීෂ්ගේ හිස්තැන පා දඟපන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත විසින් පුරවනු ඇති බවයි. 

දුශාන් තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග දෙකක් පමණක් වුවත් පා දඟපන්දු යැවීමට අමතරව, හොඳ පිතිකරණ හැකියාවක් ද සහිත අතිදක්ෂ පන්දු රකින්නෙකු ලෙසයි ඔහුව හඳුනාගෙන ඇත්තේ.

මේ නිසා මහීෂ් වෙනුවට දුශාන්ගේ ආදේශනය සිදු වුවහොත් හෙට තරගයේ ශ්‍රී ලංකා පිතිකරණ බළඇණියට එය තවත් අමතර ශක්තියක් එක් කරනු ඇති බවත් අනුමාන කළ හැකි.

නමුත් මෙම වසරේ දී කඩුලු 31ක් සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු ලාභියා සහ ලොව දෙවැනියට (සම) වැඩිම එක්දින කඩුලු ලාභියා (Kuldeep Yadav සහ Karan KC සමඟ සමවෙමින්, Sandeep Lamichhaneට පමණක් දෙවැනි වෙමින්) වීමට සමත් වී ඇති මහීෂ්ගේ අඩුව සම්පූර්ණයෙන්ම පිරවීමට හැකි වේ ද යන්න නම් ගැටලුවක්.

මහීෂ්ගේ මෙම ආබාධයත් සමඟින් මෙවර ආසියානු කුසලානයට සහභාගී වෙතැයි බලාපොරොත්තු තබා සිටි ප්‍රධානතම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාට ම (වනිඳු, මහීෂ්, දුශ්මන්ත, ලහිරු කුමාර සහ ඩිල්ශාන් මදුශංක) මේ වන විට ආසියානු කුසලානය අහිමි ව ගොස් තිබීමත් විශේෂත්වයක්. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<