ශ්‍රී ලංකා පාපන්දුවේ අනාගතය වෙනුවෙන් සුවිශේෂී විශාල ඉදිරි පියවරක්!

82
Lyca Gnanam partnership Sri Lanka Football

Lyca Gnanam පදනම සමඟ එක් වී ශ්‍රී ලංකා පාපන්දුවේ අනාගතය තවත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් පියවර ගෙන තිබෙනවා. 

මෙමඟින් ශ්‍රී ලංකා පාපන්දුව වෘත්තීය ක්‍රීඩකයින්ගේ සහ වෘත්තීය පුහුණුකරුවන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් තත්වයකට ගෙන ඒම සහ එමඟින් දකුණු ආසියානු තලයේ ශ්‍රී ලංකාව ඉහළින් ම ඔසවා තැබීමයි ප්‍රධානතම අරමුණ වන්නේ. 

මෙහි දී යොවුන් පාපන්දු ක්‍රීඩකයින් හඳුනා ගැනීම සහ ඔවුන් ව ජාතික තලයට රැගෙන ඒම ප්‍රධාන කොට ගනිමින් මෙම සැලසුම් දියත් කිරීමට නියමිත අතර, එහි දී 19න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් ප්‍රධාන තරගාවලි ද්විත්වයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

Y19 ලෙස හඳුනාගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ මූලික අදියර තුළ දිවයින පුරා නගර 55ක ක්‍රීඩකයින් 11,000ක් සමඟ කණ්ඩායම් 444ක් සහභාගී කර ගනිමින් තරග පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා තරග විනිසුරුවන් 2500ක් සහ පුහුණුකරුවන් 1000ක ප්‍රමාණයක් ද සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

එයින් අනතුරුව පළමු අදියරේ දක්ෂතම ක්‍රීඩකයින් සමඟින් දිවයිනේ දිස්ත්‍රික්ක 24 ආවරණය වන ලෙස කණ්ඩායම් 24ක් සමඟින් දෙවැනි සහ අවසන් අදියර පැවැත්වීමට නියමිත අතර, මෙම අදියර සඳහා දේශීය සහ අන්තර්ජාතික මට්ටමේ සන්නාමවල ද සහය ලබා ගැනීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වනවා. 

Alliraja Subaskaran මහතා විසින් 2010 වසරේ දී ආරම්භ කරන ලද Lyca Gnanam පදනමේ සහය ඇතිව ආරම්භ කිරීමට නියමිත මෙම ක්‍රියාදාමය මඟින් ශ්‍රී ලංකා පාපන්දුවේ අනාගතය මෙන්ම, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ බලාපොරොත්තු ද ඉටු කිරීමට අවස්ථාවක් උදා වනු ඇති බව විශ්වාස කළ හැකි. 

මෙම තරගාවලිය එළඹෙන ජුලි මාසයේ දී එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් පසු වනවා. 

දේශීය පාපන්දු පිටිය පිළිබඳ ව උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<