KL සහ Litton ගැනත් අසුබ ආරංචි!

Asia Cup 2023

712

මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කල බංග්ලාදේශ සංචිතයේ එක් වෙනස් කමක් සිදු වී ඇති අතර, තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතයට ද ආබාධ වලින් බලපෑමක් ඇති වී තිබෙනවා. 

අද (30) දිනයෙන් ආරම්භ වීමට නියමිත ව ඇති 2023 අසියානු කුසලානයේ පළමු තරගය පාකිස්තානය සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙවර ආසියානු කුසලානය ආරම්භ වීමටත් පෙර සිට ම බොහෝ කණ්ඩායම් වල ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් ආබාධ වලට ලක් වීමට පටන් ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකාවට එහි වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර දැන් බංග්ලාදේශයට ද සැලකිය යුතු මට්ටමේ පාඩුවක් සිදු කරමින් ඔවුන්ගේ ආරම්භක පිතිකරු Litton Das ආසියානු කුසලාන සංචිතයෙන් ඉවතට ගැනීමට සිදු වී තිබෙනවා.  

නමුත් බංග්ලාදේශයට මෙම අහිමි වීම සිදු වුනේ ආබාධ තත්වයක් හේතුවෙන් නොවන අතර Das වෛරස් උණකට ගොදුරු වී ඇති බවත් එම නිසා මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයට Das සහභාගී නොවන බවත් මීට පෙර වාර්තා වුනා. 

නමුත් අද දිනයේ වාර්තා වුනේ ඔහුට මෙම උණ රෝගය නිසා සම්පූර්ණ තරගාවලිය ම අහිමි වී යනු ඇති බවයි. ඒ අනුව Litton Dasගෙන් හිස් වන ආරම්භක පිතිකරු වගකීම ඉටු කිරීම වෙනුවෙන් Anamul Haque Bijoy බංග්ලාදේශ සංචිතයට ඇතුළත් කර තිබෙනවා. 

බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 44ක් ක්‍රීඩා කර ඇති Anamul විසින් ශතක තුනක් ද සමඟින් ලකුණු 1254ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව හෙට (31) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් Anamul අද සවස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ. 

මේ අතර විවිධ ක්‍රීඩකයින් ආබාධවලට ලක් වීම නිසා පසුගිය වසරකට ආසන්න කාලයක් තුළ ඉන්දීය කණ්ඩායමට ද සිය නිත්‍ය ක්‍රීඩකයින්ගෙන් තොරව තරග ක්‍රීඩා කිරීමට සිදු වුනා. කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් දැන් කෙමෙන් සිය ආබාධවලින් සුව වෙමින් සිටින අතර, ඒ අතුරින් Jasprit Bumrah පසුගිය අයර්ලන්ත සංචාරයේ දී නැවත තරග බිමට පිවිසුණා.  

එමෙන්ම KL Rahul සහ Shreyas Iyer දෙදෙනා ද මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් නැවතත් ඉන්දීය කණ්ඩායම සමඟ එක් වීමට නියමිත ව තිබුණා. 

නමුත් නිමා වුනු IPL තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ KL Rahul තවමත් සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා නොමැති බවයි දැන් වාර්තා වන්නෙ. 

” ඔහු අපි සමඟින් ඉතා හොඳ සතියක් ගත කළා. ඔහු ඉතා හොඳින් පුහුණු වීම් වල නිරත වුනා. ඔහු අපට යාමට අවශ්‍ය මාර්ගයේ ඉතා හොඳින් ඉදිරියට යනවා. නමුත් තරගාවලියේ මහනුවර (පල්ලේකැලේ) කොටස සඳහා ඔහු සහභාගී නොවේවී.” 

ඉන්දීය පුහුණුකරු Rahul Dravid විසින් KL තරගාවලියේ මූලික වටයට සහභාගී නොවන බව එසේ නිල වශයෙන් සඳහන් කර තිබුණා. 

කෙසේ වෙතත් තරගාවලියේ ඉදිරි වටය වෙත ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට සමත් වුව හොත් KLට ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි Dravid පවසන්නේ. 

එමෙන්ම KL සහ Shreyas යන ක්‍රීඩකයින් දෙදෙනා ම එළඹෙන ලෝක කුසලානය සඳහා කිසිඳු ගැටලුවකින් තොරව ම සහභාගී වනු ඇති බවත් Dravid විසින් තහවුරු කර තිබුණා. 

තරගාවලියේ ඉන්දියාව සහභාගී වන පළමු තරගය එළඹෙන සෙනසුරාදා (සැප්තැම්බර් 02) පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි. 

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz සහ Hindustan Times ඇසුරිනි

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<