දිනය පෙබරවාරි මාසයේ එක් දිනයකි. වැඩ නිමවී වෙහෙස නිවාගන්නට සිතා මම ටොරින්ටන් චතුරස්‍රය දෙසට ඇවිද ගියෙමි. වෙනදා මෙන් නොව අද ටොරින්ටන් චතුරස්‍රය අවට ප්‍රදේශය තරමක් පාළුය.
මගේ සුපුරුදු විවේක ස්ථානය වූ පාර අයිනට වෙන්නට හිඳුවා තිබූ එක් බංකුවක් මත මම වාඩි ගතිමි. මිනිත්තු කිහිපයක් නිස්කලංකව ගෙවී ගියේය. වට්ටියක් කර පින්නා ගත් වයස අවුරුදු 45ක් පමණ විය හැකි වේ යැයි සිතිය හැකි අයෙක් පැමිණ වට්ටිය බිම තබා මා අසලින්ම වාඩි ගත්තේය. වට්ටියේ තිබූ අන්නාසි කැබලි නිසා ඔහු අන්නාසි වෙළෙන්දෙකු යැයි මට සිතුනි.
“වෙලාව කීයද මහත්තයො?”
ඔහු නිහඬතාවය බින්දේය.
“හයයි විස්සයි.”
මම කෙටියෙන් පිළිතුරු දුනිමි. ඔහු සුසුමක් හෙළුවේය. මට ඔහු සමඟින් ටිකක් කතා කරන්නට සිත් විය.
“අද මැච් එකක්වත් තිබුණ ද?”
මම කතාවට මුල පිරුවෙමි.
“ඔව් මහත්තයො. ඒත් වැඩක් නෑ ඉතින්. සෙනග නෑ.”
ඔහු බිඳුණ ස්වරයකින් ප්‍රකාශ කළේය.
“බිස්නස් අඩුයි නේද?”
මම ඔහුට ඌනපූර්ණයක් එක් කළෙමි.
“සෙනග එන්නෙ නෑ මහත්තයො දැන්. නැෂනල් ටීම් එක ගහන හැටියට තමයි ඩොමෙස්ටික් මැච්වලටත් සෙනග එන්නෙ.”
මම ඔහු දෙස බැලුවෙමි. ඔහු කී කාරණය මම ඔහුගෙන් බලාපොරොත්තු වූ හෝ මෙතෙක් කල් සිතා තිබූ එකක් නොවේ.
“ඒ කිව්වෙ අංකල්”
මම යළිත් ඔහුගෙන් විමසීමි.
“නැෂනල් ප්ලේයර්ස්ලා වැඩ පෙන්නන තරමට තමයි මහත්තයො මිනිස්සු ක්‍රිකට් බලන්නෙ. නැෂනල් ප්ලේයර්ස්ලා පිස්සු කෙලිනකොට රටේ ක්‍රිකට් එක නිකන්ම වැටෙනවා”
ඔහු කියනා කතාව සැබෑවකි. 96 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවූ පෙරළිය එක්වරම මට සිහි විය.
“ඩොමෙස්ටික් ක්‍රිකට් එකත් අවුල්නෙ නේද අංකල්”
ඔහුගෙන් තවත් යමක් දැනගන්නා අටියෙන් මම විමසීමි.
“ඕක ඉතින් කිකිළියි බිත්තරෙයි වගේ මහත්තයො. නැෂනල් ටීම් එක හොඳ වුනොත් ඩොමෙස්ටික් මැච් හොඳ වෙනවා. ඩොමෙස්ටික් මැච් හොඳ වෙන තරමට නැෂනල් ටීම් එක හොඳ වෙනවා. අර්ජුනල රොෂාන්ල ගහන කාලෙ එහෙමනෙ ක්‍රිකට් උඩට ආවෙ. අපේ ඉස්කෝල වල ක්‍රිකට් එකත් ඒ වගේමයි ඉතින්.මහත්තයා විශ්වාස කරන්න ඉස්සර මහේල නාලන්දෙට ගහන කාලෙ මිනිස්සු ගාල්ලෙ ඉඳන් එනව මහේල සෙල්ලම් කරනව බලන්න. එහෙමයි අපේ ක්‍රිකට් තිබුනෙ.”
ඔහුගේ තර්කයට පදනමක් තිබේ. සාර්ථක කණ්ඩායමක් ගොඩනැගෙන්නේ තරගකාරීත්වය සමඟය. අන්තර් සමාජ තරගවල තරගකාරීත්වය ඉහළ යන විට ඒවායේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ දස්කම් ද ඉහළ යයි. අන්තර් සමාජ තරගවලින් එසේ දස්කම් දක්වන ක්‍රීඩකයන් බිහි වන විට ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ට ඉන් එල්ල වන පීඩනය වැඩිය. එම නිසා ජාතික කණ්ඩායමේ රැඳී සිටීමට නම් ඔවුන් අනිවාර්යයෙන් දක්ෂතා අතර සිටිය යුතුය.
“අපේ ක්ලබ් මැචස් වල වටිනාකමක් නෑ මහත්තයො. මැච්වල කිසිම අරමුණක් නෑ. ඔහේ ගහනවට ගහනවා. බලන්නකො ඉන්දියාව. මම මේ ළඟ දි දැක්කා ඉන්දියාවෙ රන්ජි කුසලානෙ මැච් එකක්. මහත්තය විශ්වාස කරන්න විකට් එක කොලම කොල පාටයි. මට හිතාගන්නත් බැරි වුනා ඉන්දියාවෙ විකට් එකක් කියලා. කෙනෙක්ට කිව්වට විශ්වාස කරයි ද කියන්නකො ඔය කතාව? ඒත් ඉන්දියාව එහෙමයි ක්‍රිකට් හදාගෙන තියෙන්නෙ. අපි තාම විකට් හදන්නෙ පරණ විදිහටමයි. ඒත් කමක් නෑ දිනන්න පුළුවන් නම්. ඒකත් බෑනෙ.”
දක්ෂ ක්‍රීඩකයන් බිහිවීමට හොඳ තණතිලි සහිත ක්‍රීඩාංගණ තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ දේශීය තරඟ බිමේ සකස් වන තණතිලි පිළිබඳව බොහෝ ක්‍රීඩකයන් මැසිවිලි නගන්නේ අද ඊයේ නොවේ.
කලකට ඉහත එක්තරා සමයක ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ඉන්දියාව පරාජයට පත් කළ ආකාරය මට සිහිවිය. එකල ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල හා දේශීය ක්‍රිකට් තරගවල බොහෝ සෙයින් සමානකමක් දක්නට ලැබුණි. නමුත් අද වන විට තත්ත්වය ඉතා වෙනස් ය. ඉන්දියාව අප පසු කොට බොහෝ ඉදිරියට ගමන් කරන අතරේ අපි තවමත් එකිනෙකාට චෝදනා කරමින් සිම්බාබ්වේ වැනි කණ්ඩායම් හමුවේ පවා ජයග්‍රහණය කරගත නොහැකි තරමේ පහත් මට්ටමකට ක්‍රිකට් පත් කරගෙන ඇත.
“එතකොට මාමෙ දැන් හොඳ ප්ලේයර්ස්ලා නැද්ද ඩොමෙස්ටික් එකේ?”
මම යළිත් ඔහුගෙන් විමසීමි.
“හොඳ ප්ලේයර්ස්ලා කියල මහත්තයා අහන්නෙ මොන වගේ අය ගැන ද?”
එවර ඔහුගෙන් මට පැනයකි.
“ හැකියාව තියෙන අය?”
ඔහු මා දෙස බලා මද සිනහවක් පෑවේය.
“ලංකාවෙ ක්‍රිකට් එකේ කවදද මහත්තයො හැකියාවෙ ප්‍රශ්නයක් තිබුනෙ?”
එසේ කියා ඔහු මොහොතක් නිහඬ විය. අනතුරුව යළිත් මා දෙස බලා,
“පාරකට බැහැල බලන්නකො මහත්තයො අපේ කොල්ලන්ගෙ හැකියාවෙ අඩුවක් තියෙනව ද කියල. අපේ රටේ පාරෙ ක්‍රිකට් ගහන කොල්ලෙක් සෙල්ලම් කරන විදිහ උනත් බලන් ඉන්න ආසයි මහත්තයො. ඛෙත්තාරාමෙ එහාපැත්තෙ තියෙන පන්සල පාරෙ හවසට කොල්ලො ක්‍රිකට් ගහනව මම අනන්තවත් බලන් ඉඳල ඇති මහත්තයො.
ක්‍රිකට් අපේ කොල්ලන්ගෙ ඇඟේ තියෙනව. අපේ උන්ට බැරි මොන සෙල්ලම ද කියන්නකො? මේ රටේ මිනිස්සුන්ට බැරි සෙල්ලමක් නෑ. බලන් ඉඳල ඕනම දෙයක් ඉගෙන ගන්න ජාතියෙ මිනිස්සු මේ රටේ ඉන්නෙ.
නිකමට කල්පනා කරල බලන්නකො. මුරලිට ඔය විදිහට බෝල දාන්න කවුරු හරි ඉගැන්නුව ද? මාලිංගට ඔහොම බෝල දාන්න කවුරු හරි ඉගැන්නුව ද? ජයසූරියට ඔහොම ගහන්න කවුරු හරි ඉගැන්නුව ද? මම මේ ළඟදි රේඩියෝ එකෙන් අහගෙන ඔය දැන් ජයසූරිය වගේ ගහන කුසල් පෙරේර පොඩි කාලෙ දකුණත් ගහපු බැට්ස්මන් කෙනෙක් ලු. පස්සෙ ජයසූරිය ගහනව බලන් ඉඳල ඒ ආසාවට වමතින් ගහන්න පුරුදු වුනාලු. ඒක හැකියාව නෙවෙයි ද මහත්තයො? ඔය වගේ තව කොල්ලො කීයක් මේ රටේ ඇතිද?”
එය කිසිසේත්ම ඔහුගෙන් මා බලාපොරොත්තු වූ පිළිතුරක් නොවේ. වෘත්තියෙන් අන්නාසි වෙළෙන්දෙක් වුවද ක්‍රීඩාව පිළිබඳව ඔහුගේ අවබෝධය මා පුදුමයට පත් කරන්නට සමත් විය.
“එතකොට අංකල් කොතන ද වැරදිලා තියෙන්නෙ?”
ඔහුගේ අදහස දැනගැනීමේ අටියෙන් මම යළිත් ඇසීමි.
“අපිට රත්තරං වාගෙ කොල්ලො ටිකක් හිටියා මහත්තයො. ඒත් උන්ගෙන් හරියට වැඩක් ගන්න පුළුවන් එකෙක්වත් මහ පුටු වල හිටියෙ නෑනෙ. තිරිසන්නු රැළකට වුනත් මහත්තයො හරි හමන් නායකයෙක් ඉන්නව. අපේ කොල්ලොන්ට හරි හමන් නායකත්වයක් දෙන්න තරම් මනුස්සයෙක් හිටියෙ නෑනෙ. ඉතින් කොල්ලො ටික ඉබාගාතෙ ගියා.”
එවර ඔහුගේ පිළිතුර තරමක් හැඟීම්බරය.
“මේවට ඉතින් ලොකු පුටුවලටම බැනල හරියන්නෙත් නෑ මහත්තයො. ක්‍රිකට් ගහන කොල්ලොත් දැනගන්න ඕන තමන්ගෙ නම රැකගන්න. නැෂනල් ප්ලේයර් කෙනෙක් කියන එක සිල්ලර දෙයක් නෙවෙයි.
ඉස්සර අපේ අරවින්දලා, ගුරුසිංහලා, හෂාන්ලා, රොෂාන්ලා ගහන කාලෙ නැෂනල් ප්ලේයර් කෙනෙක් කිව්වම පුදුම ගැම්මක් තිබුනනෙ මහත්තයො. ළඟින් ගියත් පුදුම අභිමානයක් අපිට දැනුනෙ. ආයෙ ඉතින් ඉඳල හිටල හරි ක්ලබ් මැච් එකක් ගැහුව නම් පනහක් හරි සීයක් හරි ෂුවර් තමයි. ඒ වගේ ප්ලේයර්ස්ලා පිට්ටනිය මැද්දට ගිහින් හිටගෙන හිටියත් ඇති මහත්තයො.”
ඔහු යළිත් හැඟීම්බරය. මම ඔහුට බාධා නොකර සාවධානව අසා සිටියෙමි.
“අපරාදෙ කියන්න ඕන නෑ මහත්තයො, අර්ජුනලගෙන් ඉගෙන ගත්ත ඒ ගැම්ම අපේ සංගල, මහේලලා ළඟත් තිබුණා. නැෂනල් කිට් එක ගහලා, පෑඩ් හෙල්මට් දාගෙන බැට් එකත් අරන් පඩිපෙල බැහැගෙන පිට්ටනියට බහිනව දකිනකොට හිතට එන ගැම්ම කියල වැඩක් නෑ මහත්තයො. බලන් ඉන්න මිනිස්සුන්ගෙ ඇඟේ මයිල් කෙළින් වෙනවා”
පැරණි මතකයන් සිහිගන්වන විට ඔහුගේ මුහුණ දිළිසෙයි. මම නිහඬවම අසා සිටියෙමි.
“මම මහත්තයට නියම කතාවක් කියන්නම්කො. ඔන්න දවසක් නැෂනල් ටීම් එක ප්‍රේමදාසෙ නෙට් වල ප්‍රැක්ටිස් කරනවා. මමත් එදා ඔය කිට්ටුවමයි හිටියෙ. ඩිල්ෂාන්ගෙ ගැහිල්ල ගැන මහත්තයට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඩිල්ෂාන් පිට්ටනිය වටේටම පාරවල් ගහපු මුල් කාලෙ ඩිවිලියස්ලා පිට්ටනිය වටේටම ගහන්න හිතලවත් නෑ. එදා නෙට් එකේ දි බැට් කර කර හිටියෙ ඩිල්ෂාන්. සංගයි මහේලයි ඊට එහා නෙට් එකේ මොකක් හරි කතාවක. බෝල දදා හිටියෙ කවුරුහරි පොඩි නෙට් බෝලර් කෙනෙක්.
කොහොමහරි ඔය බෝලර් දාපු බෝල දෙක තුනකටම අමුතු පාරවල් ගහන්න ගිහින් ඩිල්ෂාන්ගෙ විකට් ගියා. ඩිල්ෂාන්ගෙ විකට් එක ගත්ත නිසා අර බෝලර් ටිකක් උඩ ගිහින් හිටියෙ. කොහොම හරි එහා නෙට් එකේ ඉඳන් සංග මේක බලන් හිටියේ. තුන්වෙනි සැරේටත් බෝලෙ විකට් එකේ වැදුණ ගමන් සංග ඩිල්ෂාන් කියල කෑ ගැහුව.
එච්චරයි මහත්තයො. ඊට පස්සෙ ඩිල්ෂාන් ගැහුවා පාරවල් ටිකක් අර බෝලර්ට දුම් විසිවෙන්න. ආයෙ එක බෝලෙකටවත් අවුට් වුනේ නෑ. අන්න ඒකයි මහත්තයො නැෂනල් ප්ලේයර් කෙනෙක් කියලා කියන්නෙ. අන්න ඒ ගැම්ම තියෙන්න ඕන නැෂනල් ප්ලේයර් කෙනෙක් වුනාම, අඩුගානෙ නෙට් එකේ ප්‍රැක්ටිස් කරනකොටවත් අවුට් වෙන්නෙ නැතිවෙන්න.”
ඔහුගේ කතාව සැබෑවක් ය. මෑතක් වනතුරුම අපිට සිටියේ ක්‍රිකට් ලොවේ දැවැන්තයන්ය. ඔවුන්ගේ දැවැන්ත පෞර්ෂයන් ක්‍රීඩා පිටියේ පමණක් නොව ඉන් ඔබ්බටත් විද්‍යමාන විය. පාරක තොටක දුටු අවස්ථාවක වුවත් තම වගකීම කුමක්ද යන්න ඔවුන් හොඳින් දැන සිටියහ.
“ඔන්න ඔතන තමයි මහත්තයො අපිට ඇත්තටම වැරදුණේ. පහුගිය කාලෙ ඔය හැම කෙනෙක්ම බෝඩ් එකට වැරදි කිව්වා. බෝඩ් එකේ කවද්ද මහත්තයො ප්‍රශ්න නොතිබුනේ. සංගල මහේලලා අනන්ත ප්‍රශ්න ඇතුලෙ තියාගෙන 2014 වර්ල්ඩ් කප් එක ගැහුවේ.
ඕව මේ නිදහසට හදාගත්ත කතානෙ මහත්තයො. තමන් නැෂනල් ටීම් එකට ආව නම් තමන්ට තියෙන්න ඕන අභිමානයක්. මම අන්නාසිකාරය මහත්තයො. මම මහන්සි වෙලා මගෙ දරු පවුල රකිනවා. හොරකම් කරන්නෙ නැතුව දරුවොයි ගෑනියි නඩත්තු කරනවා. මටත් තියෙනවා අභිමානයක්. දැන් නැෂනල් ටීම් එකේ සෙල්ලම් කරන කොල්ලන්ට තියෙනවද අභිමානයක්?
එවර ඔහු ආවේගශීලීය. ස්වරය මදක් උස් ය. ඔහු මේ කතා කරන්නේ හදවතින්ය. මේ සමස්ත ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ කැකෑරෙන සිතුවිලි ය.
“මැච් දහයකට විතර පස්සෙ සීයක් ගහල ටීවි එක ඉස්සරහට ඇවිත් මහා ලොකු කතා කියනවා. ජයසූරියලා, ඩිල්ෂාන්ලා ගහපු ගැහිලි වල හැටියට ඔහොම කතා කරා නම් තවත් ටීවී එකේ කතා කරනවා. මුලින් තමන්ගෙ වැඩේ කරල ඉන්න එපැයි මහත්තයො.
මම අන්නාසිකාරය නම් මම දැනගන්න ඕන හරියට පොතු රැහැලා, ලුණු මිරිස් පදමට දාල පිරිසිදුව පිළිවෙළට අන්නාසි ටික විකුණන්න. එතකොටයි පවුල නඩත්තු වෙන්නෙ. මේ ලොකු ලොකු කතා කියන කොල්ලොත් දැනගන්න ඕන මහන්සි වෙලා තමන්ගෙ අඩුපාඩු හදාගෙන රටට සෙල්ලම් කරල රට දිනවන්න.”
ඔහු මේ විවෘතව ප්‍රකාශ කරන්නේ පිටින් බලන ඕනෑම කෙනෙකුට තේරෙන, එහෙත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නොතේරෙන ප්‍රශ්නයයි. පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක තබා සැබැවින්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නම් එය කෙතරම් දෙයක්දැයි මට සිතුනි.
“දැන් අංකල් මේ පාර අපිට චාන්ස් එකක් ඇත්තෙම නැද්ද?”
මම ලෝක කුසලානය පිළිබඳවත් ඔහුගෙන් විමසීමි.
“ක්‍රිකට් මැච් වල හෙට දවස ගැන කියන්න බෑ මහත්තයො. හැබැයි ඉතින් මෙච්චර කල් ගහපු හැටි බැලුවම නම් බලාපොරොත්තුවක්වත් තියාගන්න බෑ. දැන් ඉන්න ටීම් එකේ මුදුනො වැඩියි. හැමෝම තමන් එක වෙන්න හදන්නෙ. එකොළහක් ගහන ටීම් එකක හැමෝම මුදුනො වෙන්න ගියාම කරන්න බෑනෙ මහත්තයො.
මේක දැන් නිකං මොන්ටිසෝරියක් වගේනෙ. අරය ගහනවනම් මෙයාට බෑලු. මෙයා ගහනවනම් අරය එන්නෙ නෑලු. එහෙම කොහොමද ඉතින් ක්‍රිකට් ගහන්නෙ? දැන්වත් ඔය නරි නාඩගම් පැත්තකින් තියලා තම තමන්ගෙ වැරදි හදාගෙන එක ටීම් එකක් හැටියට සෙල්ලම් කළොත් දිනන්න බැරි කමක් නෑ.”
සාමාන්‍ය අන්නාසි වෙළෙන්දෙක් වුවත් ඔහුගේ දැක්ම වෙනස් ය. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කැක්කුමක් තිබේ. වසර ගණනාවක් ක්‍රිකට් නැරඹීමෙන්, ක්‍රිකට් හා ගැටීමෙන් ලද පන්නරය ඔහුගේ මෙම අදහස් වලට හේතු වන්නට ඇත.
“පරක්කු වෙනව මහත්තයො. දරුවො බලන් ඇති මං එනකල්. මං යන්නම්.”
එසේ මට සමුදී ඔහු යන්නට සැරසුනේ මා හට සිතන්නට බොහෝ දේ ඉතිරිකර තබමිනි. සමාජ සම්මතයට අනුව නූගත් යැයි කියන සාමාන්‍ය අන්නාසි වෙළෙන්දෙකු වන මේ අහිංසක මිනිසාට වැටහෙන දේවල් බලධාරීන්ට හා ක්‍රීඩකයන්ට වැටහෙනවා නම්?
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<