T10 තරගාවලියේ මූලික වටය අවසන්; Jaffna අපරාජිතව ඉදිරියට

Lanka T10 Super League 2024 

60
Lanka T10 Super League 2024 

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ හත් වැනි දිනය වූ ඊයේ (17) දිනයෙන් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල නිමාවට පත් වුනා.

තරගාවලියේ මූලික වටයට දැඩි ලෙස වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, හය වැනි දිනය ද වර්ෂාවට ම සේදී ගියා.

කෙසේ වෙතත් ඊයේ දිනය තුළ පැවැත්වීමට නියමිත තරග ත්‍රිත්වය ම විසඳුමක් කරා යමින් නිමා කිරීමට හැකියාව ලැබුණා.

මෙන්ඩිස් සහ දුනිත් අපරාජිත ගමන ස්ථිර කරයි

Jaffna Titans සහ Colombo Jaguars අතර පැවැත්වුණු තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් Colombo කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 99ක් පමණයි. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූ අතර, Jaffna වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ තම පන්දුවාර දෙක තුළ ලකුණු 5ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. මීට අමතරව ලහිරු කුමාර කඩුලු 2ක් බිඳ හෙළුවා.

අදාළ ඉලක්කය හඹා ගිය Jaffna කණ්ඩායම පන්දුවාර 5 පන්දු 4ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එහි දී විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 23ක් පමණක් වැය කරමින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනුයි.

තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ

ඒ අනුව Jaffna Titans කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටය අපරාජිත ව නිමා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

Kandy Bolts තියුණු ජයක් ලබයි

Kandy Bolts සහ Nuwara Eliya Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ පළමුව පන්දුවට පහර දුන් Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී පැතුම් නිස්සංක පන්දු 14කින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ශෙහාන් ජයසූරිය ද ලකුණු 33කින් ඉනිමට දායක වුනා. මේ අතර Nuwara Eliya වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත ලකුණු 16කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් Kandy වෙතින් ලද ඉලක්කය හඹා ගිය Nuwara Eliya කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 5ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 106ක් පමණයි. මෙහි දී ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ Kyle Mayers ලකුණු 36ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් ලබමින්  ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්න ද පසුව Kandy පන්දු යවන්නන් තරගයේ ආදිපත්‍ය සියතට ගැනීමට සමත් වුනා. එහි දී තරගයේ වීරයා සම්මානය ද සියතට ගත් Kandy නායක තිසර පෙරේරා සිය පන්දුවාර ද්විත්වය තුළ ලකුණු 11ක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

Hambantota Bangla Tigers තම ස්ථානය රැක ගනී

Hambantota Bangla Tigers සහ Galle Marvels අතර පැවැත්වුණු මූලික වටයේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 10තුළ කඩුලු 6ක් දැවී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Shakib Al Hasan ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී තරිඳු රත්නායක සහ සහන් ආරච්ච්ගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ වෙනුවෙන් පිළිතුරු ඉනිම දියත් කළ Hambantota කණ්ඩායම පන්දුවාර 9 පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී අදාළ ඉලක්කය හඹා ගිය අතර, එම ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Mosaddek Hossain ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම මෙහි දී ජෙෆ්‍රි වැන්ඩසේ සහ බිනුර ප්‍රනාන්දු Hambantota වෙනුවෙන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල මෙතෙකින් නිමාවට පත් වනවා. මූලික වටය නිමා වන විට Jaffna Titans කණ්ඩායම අපරාජිත ව මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වන අතර, Hambantota Bangla Tigers දෙවැනි ස්ථානයට පත් වෙමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා. එමෙන්ම ඊට අමතරව Galle Marvels සහ Kandy Bolts කණ්ඩායම් ද ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, තරගාවලියේ එකදු ජයග්‍රහණයක් හෝ නොලද Nuwara Eliya Kings සහ Colombo Jaguars කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට විසි වුනා.

තරගාවලියේ Play-Off තරගවටයේ තරග ත්‍රිත්වය අද (18) දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඇතුළුව තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<