Jaffna සහ Hambantota දැවැන්ත ලකුණු පුවරු සටහන් කරමින් ජය ලබයි

Lanka T10 Super League 2024

91

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ පස්වැනි දිනයට අදාළ තරග ඊයේ (15) ක්‍රියාත්මක වුනා. 

වර්ෂාවෙන් දිගින් දිගටම බාධා එල්ල වූ මෙම තරගාවලියේ එක් දිනකට නියමිත සම්පූර්ණ තරග ත්‍රිත්වය ම ඊයේ පැවැත්වීමට හැකි වීමත් විශේෂත්වයක්. 

Hambantota Bangla Tigers දැවැන්ත ලකුණු පුවරුවකට 

Hambantota Bangla Tigers සහ Kandy Bolts අතර පැවැත්වුණු තරගයෙන් Hambantota කණ්ඩායම ලකුණු 47ක ජයක් වාර්තා කිරීමට සමත් වුනා. 

මෙහි දී පළමුව පන්දුවට පහර දුන් Hambantota ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Mohammad Shahzad පන්දු 18කින් ලකුණු 52ක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම නායක දසුන් ශානක පන්දු 15කින් ලකුණු 39ක් ලබා ගත්තා. 

පන්දු යැවීමේ දී Kandy නායක තිසර පෙරේරා කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

පසුව Kandy ක්‍රීඩකයින් විසින් අදාළ ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුනත් ඔවුන්ට නියමිත පන්දුවාර 10 තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 116ක් පමණයි. ඒ වන විට ඔවුන්ගේ ඉනිමේ කඩුලු 9ක් බිඳ වැටී තිබුණා. 

මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Mohammed Shamaaz ලකුණු 25ක් ලබා ගත්තා. Hambantota Bangla Tigers වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 10කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. 

Zahoor Khanගෙන් විශිෂ්ට පන්දු යැවීමක් 

Galle Marvels සහ Colombo Jaguars අතර පැවැත්වුණු තරගයේ පළමුව පන්දුවට පහර දුන් Colombo ක්‍රීඩකයින් විසින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 82ක් පමණයි. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Najibullah Zadran ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූ අතර, Zahoor Khan විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්‍රි වැන්ඩසේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

තරගයේ පිළිතුරු ඉනිම දියත් කළ Galle Marvels ක්‍රීඩකයින් පන්දුවාර 7 එක් පන්දුවක් තුළ කඩුලු 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, මෙහි දී Alex Hales ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුනා. 

Jaffna Titans නොනැවතී ඉදිරියට 

Jaffna Titans සහ Nuwara Eliya Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ පළමුව පන්දුවට පහර දුන් Jaffna ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 153ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට සමත් වුනා. මෙහි දී Tom Abell පන්දු 24කින් ලකුණු 59ක් ලබාගන්නා අතරේ, චරිත් අසලංක ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුනා. 

Nuwara Eliya වෙනුවෙන් පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

පසුව Jaffna ඉනිමට පිළිතුරු සැපයීමට Nuwara Eliya Kings කණ්ඩායම පිටියට පිවිසුණු අතර, ඔවුන් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 100ක් පමණයි. 

කණ්ඩායමේ සියලු ම පිතිකරුවන් අසාර්ථක වන අතරේ ඉනිමේ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් වූ එකම පිතිකරු බවට පත් වූ චාමික කරුණාරත්න පන්දු 26කින් නොදැවී ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුනා. 

මේ අතර Jaffna Titans වෙනුවෙන් ප්‍රමෝද් මදුශාන් කඩුලු 3ක් බිඳ හෙළනා අතරේ දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

තරගයෙන් Jaffna Titans කණ්ඩායමට ලකුණු 53ක ජයක් හිමි වුනා. 

තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අද (16) දිනයේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි. 

එම තරග තොරතුරු ද ඇතුළුව තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<