Jaffna Titans අපරාජිත ගමනක

Lanka T10 Super League 2024

5

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ සිව්වැනි දිනය ඊයේ (14) ක්‍රියාත්මක වුනා. 

තරගාවලියේ තෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාව නිසා අත් හැර දැමීමට සිදු වූ අතර, ඊයේ දිනයේ ද පැවැත්වීමට නියමිත ව තිබූ පළමු තරගය වූ Colombo Jaguars සහ Kandy Bolts අතර තරගය වර්ෂාව නිසා අත් හැර දැමුණා. කෙසේ වෙතත් ඉන් පසුව වර්ෂාවෙන් බාධා නොලැබ ඉතිරි තරග ද්විත්වය ක්‍රියාත්මක වුනා. 

මෙහි දී තරගාවලියේ තම තෙවැනි ජයග්‍රහණය ද වාර්තා කරමින් තවදුරටත් අපරාජිත ව සිටීමට Jaffna Titans කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්. 

Jaffna Titans සහ Galle Marvels අතර පැවැත්වුණු පළමු තරගයේ පළමු ඉනිම දියත් කළ Galle කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී Alex Hales ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම Titans වෙනුවෙන් Dwayne Pretorius කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

Marvels ඉනිමට පිළිතුරු සැපයීමට පිටියට පිවිසි Jaffna කණ්ඩායම පන්දුවාර 8 පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Tom Kohler-Cadmore ලකුණු 32ක් ලබා ගන්නා අතරේ, කුසල් මෙන්ඩිස් ලකුණු 31ක් ලබමින් තරගයේ වීරයා සම්මානය ද තමන් සතු කරගත්තා. 

මේ අතර ඊයේ දිනයට නියමිත ව ක්‍රියාත්මක වූ අනෙක් තරගය ලෙස Nuwara Eliya Kings සහ Hambantota Bangla Tigers කණ්ඩායම් තරග වැදුණා. මෙහි දී පළමුව පන්දුවට පහර දුන් Kings කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් Benny Howell ලකුණු 29කින් දායක වුනා. මේ අතර Richard Gleeson විසින් Bangla Tigers වෙනුවෙන් ලකුණු 23කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනේ එක් නිලකුණු පන්දුවාරයක් ද වාර්තා කරමිනුයි. 

මේ අනුව ඉන් පසුව Bangla Tigers විසින් අදාළ ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු අතර, මෙහි දී ඔවුන් පන්දුවාර 7 එක් පන්දුවක් තුළ කඩුලු 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. මේ වෙනුවෙන් කුසල් පෙරේරාගේ පිත්තෙන් ලකුණු 33ක් ඉනිමට එක් වුනා. 

තරගයේ වීරයා ලෙස Richard Gleeson සම්මාන දිනාගත්තා. 

අද (15) දිනයේ ද තරගාවලියට අදාළ ව තවත් තරග ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිතයි. 

එම තරග තොරතුරු ද ඇතුළුව තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<