ළමා හදවත් සුවපත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පෙරට එයි

LPL 2023 Little Hearts Project

371

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔස්සේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) විසින් මෙහෙයවන ‘Little Hearts’ වැඩසටහනට සහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත LPL තරගාවලියේ ජාත්‍යන්තර ආභාෂය (International Exposure) ඔස්සේ මෙම ළමා රෝහලේ ඉදි වන Cardiac and Critical Care සංකීර්ණයට අවශ්‍ය අරමුදල් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි ද සිල්වා මහතා තීරණය කර තිබෙනවා.  

මෙම සංකීර්ණය ගොඩ නැගීමෙන් පසු, ශ්‍රී ලංකාවේ වැඩිම ළමා මරණ ප්‍රමාණයකට හේතු වන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකියාව හිමිවනවා. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලසීමාව පුරාවට ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවේ ඉන් ඔබ්බට ගොස් රටට අවශ්‍ය උපකාර ලබා දීමට හැකි මාර්ග පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මේක අපේ ජාතියේ අනාගතය වෙනුවෙන් දරන නවතම උත්සාහයක්, යැයි ශම්මි සිල්වා ප්‍රකාශ කළා 

‘Little Hearts’ වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව තුළ උපදින දරුවන් 1000කින් 10ක් හදවත් රෝග නිසා සිය පළමු උපන්දිනය සැමරීමට පෙර මිය යන බව හෙළිදරව් කරනවා. 

“Little Hearts වැඩසටහනට දැවැන්ත අවධානයක් ලබා දීමට අපි මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යොදා ගන්නවා. ‘Bat and Bowl for Little Hearts’ සංකල්පය යටතේ අපි එම කාර්යයට අරමුදල් රැස් කරන්න සූදානමින් ඉන්නවා,” යැයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා සඳහන් කළා.  

මෙම ළමා රෝහලේ Cardiac and Critical Care සංකීර්ණය ඉදිකිරීම මගින් රටේ ළදරු මරණ සඳහා බලපාන ප්‍රධානතම හේතුවක් ඉවත් කිරීමට විශාල හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා.  

“රිජ්වේ ආර්යා ළමා රෝහලට මෙම සංකීර්ණය ඉතා ඉක්මනින් අවශ්‍ය වෙනවා. ඒක අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා මෙම වැඩසටහනට සහය දෙන්න පෙරට ආව එකට,” යැයි ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළා.  

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. LPL තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<