ගාලු සෙන්පතිගේ යාල්පානම් මෙහෙයුම

LPL 2024

3
LPL 2024

Lanka Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර නිමා වෙන්නේ නැවත වතාවක් Jaffna Kings කණ්ඩායමට ශූරතා කිරුළ හිමි වෙමිනුයි. ඔවුන් මීට පෙර 2020, 2021 සහ 2022 වසරවල දී ද මෙම කිරුළ ට හිමිකම් කිව්වා. ඒ අනුව ඔවුන් මෙවර මෙම කිරුළට හිමිකම් කියන්නේ සිව් වැනි වතාවටයි.

තරගාවලියේ අනුශූරයන් වූ Galle Marvels කණ්ඩායම මීට පෙර ද LPL කිරුළට හිමිකම් කීමට 2020 සහ 2021 වසර ද්විත්වයේ ද අවසන් මහා තරගය හා එක් වූ අතර ඒ සෑම අවස්ථාවක ම මෙන් ම මෙවර ද ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවයි.

  • වසරින් වසර නිමා වූ LPL තරගාවලියේ කිරුළ බෙදී ගිය ආකාරය
වසර ශූරතාව අවසන් තරගයේ ප්‍රතිඵලය අනුශූරතාව
2020 Jaffna Stallions Jaffna Stallions කණ්ඩායමට ලකුණු 53ක ජයක්. Galle Gladiators
2021 Jaffna Kings Jaffna Kings කණ්ඩායමට ලකුණු 23ක ජයක්. Galle Gladiators
2022 Jaffna Kings Jaffna Kings කණ්ඩායමට කඩුලු 2ක ජයක්. Colombo Stars
2023 B-Love Kandy B-Love Kandy කණ්ඩායමට කඩුලු 5ක ජයක්. Dambulla Aura
2024 Jaffna Kings Jaffna Kings කණ්ඩායමට කඩුලු 9ක ජයක්. Galle Marvels

මෙවර ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ 27 හැවිරිදි වියේ පසු වෙන චරිත් අසලංක යි.

ගාලු පුරවරය නිජඹිම කරගත් චරිත්, පෙර වසරේ දී ද LPL තරගාවලිය හා එක් වෙන්නේ Jaffna Kings කණ්ඩායම සමඟනුයි. එවර තරගාවලියේ දී තරග 8කට ක්‍රීඩා කරන චරිත් අර්ධ ශතකයක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 98ක්. එහි සාමාන්‍ය ලෙසින් දැක් වුණේ 12.25ක් වැනි අඩු අගයක්.

කෙසේ වෙතත් එම දක්ෂතා මත ම ලඝු නොවූ යාපනය කළමණාකාරීත්වය, චරිත් ව LPL වෙන්දේසියටත් පෙර ම නායකයා ලෙසින් ද නම් කරමින් ඔහු ව තම කණ්ඩායමට එක් කර ගන්නවා. ඇතැම් විට ඒ වෙද්දී ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 47ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1061ක් ලබා සිටිම හෝ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 43.59ක් වන ඔහුගේ සාමාන්‍ය දක්ෂතාව ඔහුන්ගේ තේරීමට හේතු වූවා ද විය හැකියි.

ඒ අනුව කළමණාකාරීත්වයේ විශ්වාසය රකින චරිත් මෙවර තරගාවලියේ දී තම කණ්ඩායමට කිරුළ දිනා දීමට නායකත්වය ලබා දෙන්නේ තම නිජඹිමේ කණ්ඩායමට එරෙහි අවසන් මහා සංග්‍රාමයේ ප්‍රධාන ප්‍රතිවාදියා ද වෙමිනුයි.

  • Jaffna Kings කණ්ඩායමේ වැඩිම ලකුණුලාභින්

නිමා වූ LPL තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයා සේ ම අවසන් මහා තරගයේ ද වීරයා වූ දකුණු අප්‍රිකාවේ වමත් ඉදිරි පෙළ පිතිකරු Rilee Rossouw යාපනය කණ්ඩායමේ වඩාත් ප්‍රවේගකාරී පිතිකරු බවට පත් වුණා.

ඔහුගේ ඉනිම් අතර Colombo Strikers කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 108ක් සේ ම අවසන් මහා තරගයේ දී නොදැවී ලබා ගත් ලකුණු 106ක් ද ඇතුලත්. ඒ අනුව ඔහු LPL තරග ඉතිහාසයේ ශතක 2ක් වාර්තා කළ එක ම පිතිකරු බවට පත් වීමට ද සමත් වූනා.

LPL තරග ඉතිහාසයේ ම ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු ද යාපනය කණඩායම මේ තත්ත්වයට ගෙන ඒමේ දී පෙර පරිදි ම පෑ දක්ෂතා කිසිසේත් ම අමතක කළ නොහැකියි. ඔහු මෙවර තරගාවලියේ දී ලකුණු 374ක් ලබා ගනිමින් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් වන තමන්ගේ වාර්තාව තව දුරටත් දීර්ඝ කර ගැනීමට සමත් වෙනවා.

මේ වන විට LPL තරග ඉතිහාසයේ අවිශ්ක ලබා සිටින ලකුණු සංඛ්‍යාව 1544ක්.

මෙවර තරගාවලියට පෙර එම ලැයිස්තුවේ ලකුණු 1069ක් ලබා ගනිමින් 2 වැනි ස්ථානය හිමිකර ගෙන සිටි මෙවර Kandy Falcons කණ්ඩායම නියෝජනය කළ දිනේෂ් චන්දිමාල් තෙවැනි ස්ථානයට ඇද දමමින් ලකුණු 1066ක් ලබා ගනිමින් කුසල් මෙන්ඩිස් එම අසුනට පිවිසීමට සමත් වීම විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස් මෙවර තරගාවලියේ දී යාපනය කණ්ඩායම නියෝජනය කරමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 329ක් ලබා ගන්නා ලද අතර ඒ අනුව ඔහුගේ ගිණුම ලකුණු 1395ක් බවට පත් වෙනවා.

ඒ අනුව ලකුණු 1356ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් ට සිදු වෙන්නේ තෙවැනි ස්ථානය දක්වා පසු බැසීමටයි.

එමෙන් ම යාපනය කණ්ඩායම ලත් මෙම ජයග්‍රහණය පිටුපස සිටින තවත් යෝධ චරිතයක් වන්නේ පැතුම් නිස්සංක යි. LPL පළමු වෙන්දේසියේ දී සලකා බැලීමක් හෝ නොකෙරුණ පැතුම් යාපනය කණ්ඩායමට එක් කර ගන්නේ අවසානය අවස්ථාවේදීයි.

එහි ගෞරවය රකින පැතුම් තරගාවලිය අවසන් කරන්නේ LPL තරග ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් එක් ඉනිමක දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණය ද වාර්තා කරමිනුයි.

ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Kandy Falcons කණ්ඩායමට එරෙහි ව ලකුණු 119ක් ලබා ගනිමිනුයි. එය පැතුම් ගේ විස්සයි විස්ස තරග දිවයේ මංගල ශතකය බවට ද පත් වූවා.

 LPL තරග ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ශතක 10ක් පමණක් වන අතර ඉන් ශතක 6ක් ම වාර්තා වන්නේ මෙවර තරගාවලියේ දී යි. ඉන් යාපනය දිනවූ පිතිකරු ලැයිස්තුවේ ශතක 4ක් ඇතුලත් වූ අතර එය LPL තරග ඉතිහාසයේ කණ්ඩායමක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා. එතෙක් මෙතෙක් LPL තරග ඉතිහාසයේ එක් අදියරක දී කණ්ඩායමක් විසින් මෙතරම් ශතක ප්‍රමාණයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසයි මෙය සටහන් වෙන්නේ.

Jaffna Kings පිතිකරු ලැයිස්තුව

  Player Mat Inns NO Runs HS Ave 100 50 4s 6s
1 Rilee Rossouw 11 11 2 389 108* 43.22 2 1 36 25
2 අවිශ්ක ප්‍රනාන්දු 11 10 0 374 80 37.40 0 5 35 19
3 පැතුම් නිස්සංක 11 11 0 333 119 30.27 1 2 39 11
4 කුසල් මෙන්ඩිස් 11 11 2 329 105* 36.55 1 1 35 10
5 චරිත් අසලංක 11 10 2 173 50 21.62 0 1 12 12

  • Jaffna Kings කණ්ඩායමේ වැඩිම කඩුලුලාභීන්

යාපනය ජයග්‍රහණය කරා රැගෙන යෑමේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් අතර බටහිර ඉන්දීය කොදෙව් ජාතික Fabian Allen සහ අසිත ප්‍රනාන්දු සම දක්ෂතා දක්වනවා. ඔවුන් දෙදෙනා ම කඩුලු 10ක් බැගින් දවා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දක්වනවා.

කෙසේ වෙතත් යාපනය කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙන්නේ Fabian Allen. ඔහු Kandy Falcons කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනු ලබන අතර එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරගවල ද ඉහළ ම දක්ෂතාවයි.

ඔවුන් දෙදෙනාට අමතර ව ඇෆ්ගනිස්තානයේ දකුණත් මඳ වේග පන්දු යැවූ Azmatullah Omarzai මෙන් ම දකුණු අප්‍රිකාවෝ වමතින් දඟ පන්දු යැවූ Tabraiz Shamsi ද යාපනය කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා දක්වනවා.

යාපනය කණ්ඩායම හා එක් වූ යොවුන් පන්දු යවන්නන් අතුරින් වැඩි වගකීමක් පැටවුණේ ප්‍රමෝද් මධුශාන් වෙතයි. ඔහු ද තම යුතුකම මනා ලෙස ඉටු කරන ලද අතර විජයකාන්ත වියස්කාන්ත් ද යොවුන් පන්දු යවන්නන් අතර කැපී පෙණුනා.

Jaffna Kings පන්දු යවන්නන්ගේ ලැයිස්තුව

  Player Mat Overs Runs Wkts Best Ave Econ 4s
  Fabian Allen 11 31.0 261 10 4/24 26.10 8.41 1
  අසිත ප්‍රනාන්දු 10 36.2 349 10 3/35 34.90 9.60 0
  Azmatullah Omarzai 9 26.0 289 8 2/31 36.12 11.11 0
  Tabraiz Shamsi 4 13.1 128 6 2/26 21.33 9.72 0
  ප්‍රමෝද් මධුශාන් 6 19.0 209 6 2/48 34.83 11.00 0

  • මෙවර තරගාවලියේ Jaffna Kingsකණ්ඩායම පෑ ඉහළ ම දක්ෂතාවන්

224/7 (20.0): යාපනය කණ්ඩායමේ හොඳම ඉනිම ලෙසින් සැලකෙන්නේ Kandy Falcons කණ්ඩායමට එරෙහි ව පෑ මෙම දක්ෂතාවයි.

30: වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ තරගය ලෙසින් වාර්තා වන්නේ Dambulla Sixers කණ්ඩායමට එරෙහි ව ලැබූ මේ ජයග්‍රහණයයි.

389: වැඩිම ලකුණු ලැබූ පිතිකරු Rilee Rossouw.

8: මෙවර තරගාවලියේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නා කුසල් මෙන්ඩිස්. ඔහු උඩ පන්දු 5ක් සහ කඩුලු බිඳ දැමීම් 3ක් සිදු කරමින් මෙම දක්ෂතාව දක්වනවා.

4: මෙවර තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම දවා ගැනීම් දායක වූ කඩුලු රකින්නා කුසල් මෙන්ඩිස්. ඔහු Dambulla Sixers කණ්ඩායමට එරෙහි ව උඩ පන්දු 2ක් සහ කඩුලු බිඳ දැමීම් 2ක් සිදු කරමින් මෙම දක්ෂතාව දක්වනවා.

5x50s: මෙවර තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභියා අවිශ්ක ප්‍රනාන්දු.

25x6s: මෙවර තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා Rilee Rossouw.

7x6s: තරගාවලියේ සම දක්ෂතා දක්වමින් ඉනිමක වැඩිම හයේ පහර ලැබූ ක්‍රීඩකයා Rilee Rossouw.

10: වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා සම දක්ෂතා Fabian Allen සහ අසිත ප්‍රනාන්දු.

4/24 (4.0): ඉනිමක හොඳම පන්දු යැවීම Fabian Allen, Kandy Falcons කණ්ඩායමට එරෙහි ව.

154*: අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක එක් ව Dambulla Sixers කණ්ඩායමට එරෙහි ව පෑ මෙම දක්ෂතාව තරගාවලියේ 5 වැනි කඩුල්ලට එක් කළ ඉහළ ම ලකුණු සබඳතාවයි.

  • Jaffna Kings ක්‍රීඩකයන් විසින් මෙවර තරගාවලියේ දී අලුත් කළ තරගාවලි වාර්තා

454: මෙවර තරගාවලියේ දී Jaffna Kings (224/7) කණ්ඩායම සහ Kandy Falcons (230/3) කණ්ඩායම එක් ව වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය LPL තරග ඉතිහාසයේ කණ්ඩායම් 2ක් එක් ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු ප්‍රමාණය බවටත් පත් වුනා.

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ 2020 වසරේ දී Kandy Tuskers (219/3) සහ Colombo Kings (219/7) කණ්ඩායම් එක් ව ලබා ගන්නා ලද ලකුණු 438 යි.

1544: Jaffna Kings කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු LPL තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා.

119: Jaffna Kings කණ්ඩායමේ පැතුම් නිස්සංක LPL තරග ඉතිහාසයේ හොඳම ඉනිම වාර්තා කිරීමේ ගෞරවය දිනා ගත්තා.

2x100s: LPL තරග ඉතිහාසයේ ශතක 2ක් වාර්තා කළ එක ම පිතිකරු බවට Jaffna Kings කණ්ඩායමේ Rilee Rossouw පත් වුනා.

15x50s: LPL තරග ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් ලබා ගත් පිතිකරු බවට පත් වූයේ Jaffna Kings කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු යි.

78x6s: අවිශ්ක ප්‍රනාන්දු LPL තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වුනා.

88: LPL තරග ඉතිහාසයේ හයේ පහර සහ හතරේ පහරවලින් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුනා.

185*: LPL තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතාව වාර්තා කිරීමට Rilee Rossouw සහ කුසල් මෙන්ඩිස් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා මෙම දක්ෂතාව සිදු කරන්නේ 2 වැනි කඩුල්ල වෙනුවෙනුයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<