උතුරත් – දකුණත් ගැටෙන අවසන් මහා සටන

LPL 2024

5

ඉතිහාසය නැවත නැවතත් ඒ ආකාරයෙන් ම ලියැවෙන්නේ නම්, Jaffna Kings කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවටත්, Galle Marvels කණ්ඩායම අනුශූරයන් බවටත් පත් වෙනු නියතයි.  

නමුත් එවැන්නක් එලෙසින් ම සිදු වෙනු ඇතැයි පැවැසිය නොහැකි වන්නේ මෙය ක්‍රිකට් ක්‍රීඩාව වන බැවිනුයි. ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිතයි ඒ ක්‍රිකට් ගැන පැවැසෙන පුරෝකතනයයි. 

2024 LPL තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය Jaffna Kings සහ Galle Marvels කණ්ඩායම් අතර අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.  

මෙම තරග ඉතිහාසයේ මෙම කණ්ඩායම් ද්විත්වය අවසන් තරගයක දී එකිනෙකා හමුවෙන තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඔවුනොවුන් හමුවූ අවස්ථා ද්විත්වයේ දී ම ජයග්‍රාහකයා බවට පත් වීමට Jaffna Kings ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණෙනවා. 

මෙම තරගයට සුදුසුකම් ලබා ගැනීමට පෙර මෙම කණ්ඩායම් ද්විත්වය පළමු වටයේ දී අවස්ථා 3ක දී එකිනෙකා හමුවෙන් අතර ඒ අතුරින් ජයග්‍රහණ 2-1ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණෙනවා. ඔවුන් අවසන් මහා තරගය සඳහා වේලාසනින් ම සුදුසුකම් ලබා ගන්නේ ද යාපනය ක්‍රීඩකයන්ට එරෙහි ව පැවැති Qualifier 1 තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ද ලබා ගනිමිනුයි.  

Jaffna Kings  

යාපනය ක්‍රීඩකයෝ මෙවර තරගාවලියට පිවිසෙන්නේ 2020, 2021 සහ 2022 වසර ත්‍රිත්වයේ ජයග්‍රාහයකයන් ලෙසයි.  

ඒ අනුව තරගයට පිවිසි ඔවුන් මෙම වටයට පිවිසීමේ දී සහභාගී වූ තරග 10න් තරග 6ක් ජයග්‍රහණය කරමින් සහ තරග 4ක් පරාජය වෙමින් නිමා කර තිබෙනවා.  

එම ගමනේ දී කණ්ඩායම වෙනුවෙන් වැඩිම දක්ෂතා දක්වන පිතිකරු තුන් කට්ටුවක් ම සිටීම ඔවුන්ගේ කණ්ඩායමේ තරම වටහා ගැනීමට ප්‍රමාණවත්. ඒ අතුරින් ප්‍රමුඛයා වන්නේ අවිශ්ක ප්‍රනාන්දු යි.  

LPL තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා ලෙසින් තව දුරටත් තම ස්ථානය රැක ගෙන සිටින අවිශ්ක ප්‍රනාන්දු මෙවර තරගාවලියේ දී තරග 10කට සහභාගී වෙමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 374ක් ලබා තිබෙනවා.  

ඔහුට අමතර ව පැතුම් නිස්සංක ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 333ක් ලබා ගනිමින් ද සහ දකුණු අප්‍රිකා ක්‍රීඩක Rilee Rossouw ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 283ක් ලබා ගනිමින් ද මෙම ලැයිස්තුව වර්ණවත් කරනවා.  

එමෙන් ම තීරණාත්මක Qualifier 2 තරගයේ දී ශතක ඉනිමක් කරා යමින් දක්ෂතා අතරට පිවිසි කුසල් මෙන්ඩිස් මෙන් ම නායක චරිත් අසලංක ද යාපනය ඉනිමේ ප්‍රතිකරු බලඇණිය ප්‍රාණවත් කරන්නන් ලෙසින් හැඳින්විය හැකියි.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතුරින් වඩාත් ඉදිරියෙන් කියැවෙන්නේ ඇෆ්ගනිස්තානයේ Azmatullah Omarzai ගේ නමයි. ඔහු මේ වෙද්දී ලකුණු 123ක් සහ කඩුලු 7ක් දවා ගනිමින් යාපනය කණ්ඩායමේ විශ්වාසය දිනා සිටිනවා.  

පන්දු යවන්නන් අතුරින් යාපනය කණ්ඩායමේ ප්‍රධානියා වී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Fabian Allen. ඔහු කඩුලු 10ක් ලබා ගනිමින් එලෙස කඩුලුලාභීන් අතර පෙරමුණ ගනිද්දී Azmatullah Omarzai සහ අසිත ප්‍රනාන්දු කඩුලු 7ක් බැගින් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.  

අවසන් මහා තරගයේ දී යාපනය කණ්ඩායමේ යම් වෙනසක් සිදු වේ නම් බලාපොරොත්තු විය හැක්කේ පෙර තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා වෙනුවට ප්‍රමෝද් මධුශාන් කණ්ඩායමට කැඳවීමයි.  

අද තරගයේ දී Galle Marvels කණ්ඩායමට එරෙහි ව පිටියට පිවිසෙතැයි සිතෙන Jaffna Kings කණ්ඩායම: 

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා),  Rilee Rossouw , අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා / ප්‍රමෝද් මධුශාන්,  Azmatullah Omarzai, Fabian Allen, විජයකාන්ත වියස්කාන්ත්, Jason Behrendorff සහ අසිත ප්‍රනාන්දු. 

මෙවර LPL තරගාවලියේ Jaffna Kings කණ්ඩායම මෙතෙක් පැමිණි ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  තරගයේ ප්‍රතිඵලය 
1  Galle Marvels  Galle Marvels කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
2  Dambulla Sixers  Jaffna Kings කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
3  Galle Marvels  Jaffna Kings කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
4  Dambulla Sixers  Jaffna Kings කණ්ඩායමට ලකුණු 30ක ජයක්.  
5  Kandy Falcons  Kandy Falcons කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  
6  Colombo Strikers  Jaffna Kings කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 
7  Kandy Falcons  Jaffna Kings කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
8  Colombo Strikers  Colombo Strikers කණ්ඩායමට කඩුලු 9ක ජයක්.  
9  Galle Marvels  Galle Marvels කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  
10  Kandy Falcons  Jaffna Kings කණ්ඩායමට ලකුණක ජයක්.  

Galle Marvels 

ගාලු ක්‍රීඩකයෝ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එක් වෙන්නේ 2020 සහ 2021 වසර ද්විත්වයේ අනුශූරයන් ලෙසයි.  

ඒ අනුව තරගාවලියට එක් වූ ඔවුන් තරග 9කට සහභාගී වෙමින් තරග 6ක් ජයග්‍රහණය කරමින් සහ තරග 3ක පරාජයන්ට ලක් වෙමින් මෙම තරගය සඳහා අවස්ථාව උදා කර ගන්නවා.  

ගාලු කණ්ඩායමේ මෙතෙක් ආ ගමනේ දී වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් ව සිටින්නේ නවසීලන්ත ක්‍රීඩක Tim Seifert. 29 හැවිරිදි මේ ක්‍රීඩකයා මේ දක්වා ගාලු කණ්ඩායම සහභාගී වූ තරග 9ට ම එක් වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 353ක් ලබා සිටිනවා.  

ගාලු පිතිකරු ලැයිස්තුවේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් අතර එංගලන්ත ක්‍රීඩක Alex Hales මෙන් ම නායක නිරෝෂන් දික්වැල්ල ද රැදී සිටිනවා. Alex Hales තරග 9ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 230ක් ලබා ගනිමින් ද සහ නායක නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් සමඟින් ලකුණු 179ක් ලබා ගනිමින් ද පිතිකරු ලැයිස්තුවේ ඉදිරියේ පසුවෙමින් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටිනවා.  

ඊට අමතර ව භානුක රාජපක්ෂ (154) සහ ජනිත් ලියනගේ (129) ද ගාලු පිතිකරු බලඇණිය ශක්තිමත් කිරීමට තරම් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඉසුරු උදාන පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 126ක් ලබා ගනිමින් ද සහ කඩුලු 14ක් දවා ගනිමින් ද ගාලු කණ්ඩායම වෙනුවෙන් වැඩි යමක් සිදු කරන ක්‍රීඩකයා ලෙසින් විශ්වාසය දිනා සිටිනවා. ඊට අමතර ව ලකුණු 89ක් සහ කඩුලු 4ක් දවා ගෙන සිටින සහන් ආරච්චි ගේ ද ඔවුන් සතු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා.   

ගාලු කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉසුරු උදාන ඉදිරියෙන් ම සිටිද්දී, දකුණු අප්‍රිකාමේ දකුණතින් මඳ වේග පන්දු යවන Dwaine Pretorius කඩුලු 12ක් දවා ගනිමින් ද සහ මහීෂ් තීක්ෂණ කඩුලු 10ක් දවා ගනිමින් ඉන් අනතුරුව ලැයිස්තු ගත වෙනවා.  

ඊට අමතර ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Zahoor Khan කඩුලු 9ක් ලබා ගනිමින් ද සහ යොවුන් ක්‍රීඩක කවිඳු නදීශාන් කඩුලු 5ක් දවා ගනිමින් ද ගාලු කණ්ඩායම වෙනුවෙන් සටනට පිවිසීමට කඳවුරු බැඳ සිටිනවා.  

අවසන් මහා තරගයේ දී ගාලු කණ්ඩායමේ යම් වෙනසක් සිදු වේ නම්, එහි දී සලකා බැලෙන ප්‍රධාන ක්‍රීඩකයන් බවට පත් වන්නේ Zahoor Khan සහ යොවුන් ක්‍රීඩක චමිඳු විජේසිංහ යි. ඔවුන් දෙදෙනාගෙන් මෙම තරගයට කෙනෙක් එක් කර ගන්නේ නම් පෙර තරගයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරියට තම ස්ථානය අහිමි වීමේ අවධානමක් පවතිනවා.   

අද තරගයේ දී Jaffna Kings කණ්ඩායමට එරෙහි ව පිටියට පිවිසෙතැයි සිතෙන Galle Marvels කණ්ඩායම: 

 

නිරෝෂන් දික්වැල්ල (නායක / කඩුලු රකින්නා), Alex Hales, Tim Seifert, ජනිත් ලියනගේ, භානුක රාජපක්ෂ, සහන් ආරච්චිගේ, Dwaine Pretorius, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය / Zahoor Khan / චමිඳු විජේසිංහ, කවිඳු නදීශාන් සහ මහීෂ් තීක්ෂණ. 

මෙවර LPL තරගාවලියේ Galle Marvels කණ්ඩායම මෙතෙක් පැමිණි ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  තරගයේ ප්‍රතිඵලය 
1  Jaffna Kings  Galle Marvels කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
2  Colombo Strikers  Galle Marvels කණ්ඩායමට ලකුණු 7ක ජයක්.  
3  Jaffna Kings  Jaffna Kings කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
4  Kandy Falcons  Galle Marvels කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  
5  Dambulla Sixers  Dambulla Sixers කණ්ඩායමට ලකුණු 25ක ජයක්.  
6  Kandy Falcons  Galle Marvels කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  
7  Dambulla Sixers  Galle Marvels කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ ජයක්.  
8  Colombo Strikers  Colombo Strikers කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  
9  Jaffna Kings  Galle Marvels කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

 

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<