Rilee සහ අවිශ්ක අගනුවර ක්‍රීඩකයන්ට සැරට සිටී

LPL 2024

29
LPL 2024

Rilee Rossouw සහ අවිශ්ක ප්‍රනාන්දු ගේ වාර්තා ගත කඩුලු සබඳතාව හේතුවෙන් Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ Jaffna Kings සහ Colombo Strikers අතර තරගයෙන් කඩුලු 3ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Jaffna Kings ක්‍රීඩකයෝ සමත් වූවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (10) පස්වරුවේ නිමා වූ මෙම තරගයේ දී  Jaffna Kings ජයග්‍රහණය කරා රැගෙන ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩක Rilee Rossouw ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත් ම ශතකය වාර්තා කිරීමට  සමත් වීම ද අද සිදු වුනා.

ඔහු පන්දු 44ක් පමණක් වැය කරමින් තම ශතකය වාර්තා කළ අතර ඊට පෙළ මෙම තරග මාලාවන් හී වේගවත් ම ශතකය වාර්තා කර තිබුණේ 2023 වසරේ දී Colombo Strikers කණ්ඩායම නියෝජනය කළ Babar Azam විසිනුයි. ඔහු Galle Titans කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ දී පන්දු  57ක දී තම ශතකය වාර්තා කර තිබුණා.

කාසියේ වාසිය දිනා ගත් යාපනය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව අගනුවර ක්‍රීඩකයන් සතු වුනා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් අගනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Glenn Phillips. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා.

ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz ලකුණු 27කට දැවී ගිය පසු පිටියට පිවිසි Glenn Phillips, ඇන්ජලෝ පෙරේරා සමග එකතු වෙමින් 2 වැනි කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් එක් කරමින් සිටිය දී ආබාධයකට ලක් වූ ඇන්ජලෝ පෙරේරා පිටියෙන් ඉවත් වෙනවා.

ඒ වෙද්දී ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

එම කඩුල්ලෙන් පසුව එතරම් ම සාර්ථක ලකුණු සබඳතාවන් අගනුවර ඉනිමට එක් කිරීමට එතැන් සිට පැමිණි පිතිකරුවෝ සමත් වූයේ නැහැ. Glenn Phillips ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් ඉනිම හැර ගිය පසු යැවුණ පන්දුවාර 2ක ක පන්දු 6ක දී ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට යාපනය පන්දු යවන්නෝ සමත් වූවා.

අගනුවර ඉනිම පාලනය කිරීමේ දී  Azmatullah Omarzai සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බැගින් ද, Fabian Allen, Tabraiz Shamsi සහ ප්‍රමෝද් මධුශාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ලකුණු 189ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් සුපුරුදු ලෙසින් ම යාපනය ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් විසිනුයි. නමුත් ඔවුන් දෙදෙනාට ම වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට අගනුවර පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

කුසල් මෙන්ඩිස් පළමු වැනි කඩුල්ල ලෙසින් ලකුණු 5කට ද සහ පැතුම් නිස්සංක 2 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 9කට ද දැවී ගියා. මේ වෙද්දී යාපනය ඉනිම කියැවුණේ පන්දුවාර 4.1ක දී කඩුලු 2ක් දැවී ලකුණු 30ක් ලෙසයි.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ Rilee Rossouw සහ අවිශ්ක ප්‍රනාන්දු තම කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ගියා. ඔවුන් දෙදෙනා 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක දී ලකුණු 120ක සබඳතාවක් එක් කළා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ අවිශ්ක ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.

අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගයේ දී රැස් කරන්නේ මෙවර තරගාවලියේ තම සිව් වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමත් සමඟින් පිටියට එක් වූයේ නායක චරිත් අසලංක යි. තම නායකයා එක් අන්තයක තබා ගත් Rilee Rossouw ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසේ වේගවත් ම ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා. එය ඔහුගේ 345ක් වන විස්සයි විස්ස තරගවල 6 වැනි ශතකයයි.

තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී තරගයේ ජයග්‍රහණය Jaffna Kings කණ්ඩායම සතු කර ගනිද්දී  Rilee Rossouw පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ද සහ චරිත් අසලංක පන්දු 8ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ලට එක් වූ නොබිඳුණු සබඳතාව ලකුණු 40ක්. ඊට ඔවුන් දෙදෙනා වැය කරන්නේ ද පන්දු 22ක් පමණයි.

Rahmanullah Gurbaz ගේ දුර්වල පන්දු රැකීම් හමුවේ ප්‍රතිවාදීන් දවා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් ම අහිමි කර ගනිද්දී යාපනය ඉනිම පාලනය කිරීමට පන්දු යවන්නෝ 8 දෙනෙක් ම කැඳවීමට අගනුවර නායකයාට සිදු වූවා. නමුත් ඒ අතුරින් කඩුලු ලබා ගත්තේ Shadab Khan, දුනිත් වෙල්ලාගේ සහ Taskin Ahmed පමණයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo Strikers – කඩුලු 8ක් දැවී 188 (20.0) Rahmanullah Gurbaz 27, ඇන්ජලෝ පෙරේරා 34, Glenn Phillips 58, Azmatullah Omarzai 2/31, අසිත ප්‍රනාන්දු 2/38

Jaffna Kings – කඩුලු 3ක් දැවී 190 (18.3) Rilee Rossouw නොදැවී 108, අවිශ්ක ප්‍රනාන්දු 58

Jaffna Kings කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – Rilee Rossouw (Jaffna Kings)

මෙම තරග අවසන් වන විට Jaffna Kings කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණ 8ක් ලබා ගනිමින් 1 වැනි ස්ථානයට පත් ව සිටි අතර Colombo Strikers කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් 3 වැනි ස්ථානයේ රැදී සිටියා.

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<