අවිශ්ක සහ චරිත් හමුවේ කුසල්ගේ ශතකයේ රැස් බාල වෙයි

LPL 202‍4

34
LPL 202‍4

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ සිවු වැනි තරගය වූ Dambulla Sixers සහ Jaffna Kings අතර අද (03) පස්වරුවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ Jaffna Kings කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි වෙමිනුයි.

මෙම තරගයේ දී මෙවර තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට Dambulla Sixers කණ්ඩායමේ කුසල් පෙරේරා සමත් වීම කැපී පෙණුනා. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත් අතර එය Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ මෙරට ක්‍රීඩකයෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.

ඊට පෙර එම වාර්තාව සතු ව තිබුණේ 2021 වසරේ දී Jaffna Kings කණ්ඩායම නියෝජනය කරමින් Dambulla Giants කණ්ඩායමට එරෙහි ව ලකුණු 100ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු හටයි.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Sixers ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 191ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

දඹුල්ල ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 18 දී අහිමි වීමෙන් අනතුරු ව කුසල් පෙරේරා සහ නුවනිඳු ප්‍රනාන්දු එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් එක් කරමින් දැවැන්ත ලකුණු පුවරුවකට යෑමට පාර සැකසුවා. එහි දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත් අතර ඔහුගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

අනතුරු ව පිටියට එක් වූ Mark Chapman හා සමඟින් එක් වූ කුසල් පෙරේරා එතැන් සිට දඹුලු ඉනිම අවසන් වන තුරු ඔවුන්ගේ කඩුලු ආරක්ෂා කර ගනිමින් 3 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 65ක සබඳතාවක් එක් කළා.

එම ඉනිම අවසන් වෙද්දී කුසල් පෙරේරා තම තරග 162ක් වූ පළමු පෙළ විස්සයි විස්ස තරගවල මංගල ශතකය නොදැවී වාර්තා කළ අතර අනෙක් අන්තයෙන් නොදැවී ක්‍රීඩා කළ Mark Chapman පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

Dambulla Sixers ඉනිම පාලනය කිරීම සඳහා පන්දු යවන්නෝ 7 දෙනෙක් යොදා ගත්ත ද ඉනිමේ දැවී ගිය කඩුලු 2 ම හිමිකාරීත්වය ධනංජය ද සිල්වා සතු වූවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමට තම ආරම්භය එතරම් ම සාර්ථකව පවත්වා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු Power Play අවස්ථාව නිමා වෙද්දී ලකුණු පුවරුව රැදී තිබුණේ ලකුණු 37 වන අතර ඒ වෙද්දී කඩුලු 3ක් ද අහිමි ව තිබුණා. ඉන් ලකුණු 27ක් ම ලබා ගෙන තිබුණේ පැතුම් නිස්සංක විසිනුයි.

කෙසේ වෙතත් වැටී තිබු තත්ත්වයෙන් තම කණ්ඩායම ගොඩ ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සහ නායක චරිත් අසලංක එක් ව ප්‍රශංසනීය ඉනිමක නිරත වූවා. ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ලට පන්දු 66ක දී ලකුණු 134ක සබඳතාවත් එක් කරන්නේ ප්‍රතිවාදීන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු පමා කරමිනුයි.

චරිත් අසලංක පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

අනතුරු ව යාපනය ඉනිමට තවත් ලකුණු 7ක් පමණක් එක් වෙද්දී 5 වැනි කඩුල්ල ලෙසින් අවිශ්ක ප්‍රනාන්දු ගේ ඉනිම ද නිමා වූවා. ඒ වෙද්දී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියා. ඔහු දැවී යන විට Jaffna Kings ඉනිම කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලෙසයි.

ඒ වෙද්දී ඉතිරි ව තිබූ පන්දු 12 දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 14ක් අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් කඩුලු 5ක් ම ඉතිරි ව තිබුණා. නමුත් ඊළඟ පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී ද ඔවුන්ට තවත් කඩුල්ලක් අහිමි වෙනවා.

කෙසේ වෙතත් ඊළඟ පන්දු 3 දී ලකුණු 6ක් ලබා ගනිමින් අවසන් පන්දු 6 දී ජයග්‍රහණය සඳහා ලකුණු 4ක අවශ්‍යතාවයකට තරගය පෙරළා ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. නිමේෂ් විමුක්ති විසින් යැවුණ එම පන්දුවාරයේ පළමු පන්දු ද්විත්වයේ දී ලකුණු 3ක් ලබා ගනිමින් තරගයේ ලකුණු ප්‍රමාණය සම කිරීමට Jaffna Kings ක්‍රීඩකයෝ සමත් වෙනාව. නමුත් අනතුරුව යැවුණ පන්දු 3 දී කිසිදු ලකුණක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ.

ඒ අනුව අවසන් පන්දුව ක්‍රියාත්මක වෙන්නේ  Jaffna Kings කණ්ඩායමේ ජයග්‍රහණයට එක් ලකුණක් පිටු පස සිටිමින්. ඒ අවස්ථාවේ දී පන්දුවට පහර දෙමින් සිට Fabian Allen හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායමට හිමි කර දෙනවා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Fabian Allen පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද සහ Azmatullah Omarzai පන්දු 4කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Mustafizur Rahman සහ නුවන් තුෂාර කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී Mohammad Nabi ද එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla Sixers – කඩුලු 2ක් දැවී 191 (20.0) කුසල් පෙරේරා නොදැවී 102, නුවනිඳු ප්‍රනාන්දු 40, Mark Chapman නොදැවී 33, ධනංජය ද සිල්වා 2/25

Jaffna Kings – කඩුලු 6ක් දැවී 197 (20.0) පැතුම් නිස්සංක 27, අවිශ්ක ප්‍රනාන්දු 80, චරිත් අසලංක 50, නුවන් තුෂාර 2/34, Mustafizur Rahman 2/30

Jaffna Kings කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (Jaffna Kings)

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<