WADA කුසල්ට වන්දි ගෙවයි

231

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා හට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් (රුපියල් කෝටි 9කට ආසන්න) වන්දි මුදලක් ගෙවීමට ලෝක තහනම් උත්තේජක වැළැක්වීමේ ඒජන්සිය (World Anti-Doping Agency -WADA) තීරණය කර තිබේ. 

ඒ 2015 වසරේ දී කුසල් පෙරේරා වෙත එල්ල කරන ලද තහනම් උත්තේජක චෝදනාව සාවද්‍ය බව ඔප්පු වීම නිසාවෙනි. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මීට පෙර පවසා සිටියේ කුසල් පෙරේරා හා WADA අතර සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි. 

තවද කුසල් පෙරේරාගේ නෛතික පිරිවැය ඇමරිකානු ඩොලර් 100,000ක් පමණ වන බවත්, එය ද WADA විසින් අයකර ගැනීමට බලාපොරොත්තු වන බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා තිබිණි. 

ශ්‍රී ලංකාව අමාරුවේ දමමින් කුසල් හා වනිඳුට ඇබැද්දියක්

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර දෙවන විස්සයි විස්ස තරගය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්…………….

කුසල් පෙරේරා හට 2015 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තාවකාලික තරග තහනමක් පනවන ලදි. එම වසරේ ඔක්තෝබර් මාසයේ දී සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වීමෙන් එම වසර හතරක තහනමකට ලක්වීමට කුසල් පෙරේරාට සිදු විය. කෙසේ වෙතත් 2016 මැයි මාසයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එම පරීක්ෂණයේ ප්‍රතිඵල නිවැරදි නොවන බව පවසමින් කුසල් පෙරේරාගේ සම්බාධක ඉවත් කරන ලදි.

කුසල් පෙරේරා මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් අසමත් වූ බවට වැරදියට විනිශ්චය කිරීමෙන් පසුව තරග තහනමකට ලක්කිරීමෙන් අනතුරුව එවකට නිකුත් කළ නිවේදනයක දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කියා සිටියේ කුසල් පෙරේරාගේ පරීක්ෂණය WADA හි කටාර් විද්‍යාගාරයක දී ස්වාධීනව සිදු කළ බවයි.

එහි දී එම සාම්පල වල අඩංගු වූ සංඝටකය ස්වාභාවිකව ශරීරය තුල හටනොගන්නා බවත්, ඒවා ස්වාභාවිකව එම සාම්පල මත හටනොගන්නා බවත් එම විද්‍යාගාරය විසින් පවසා තිබිණි. 

කෙසේ වෙතත් මෙම තහනම් කාලය තුල කුසල්ට පෙරේරාට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලිය ද මග හැරී තිබුණි.  

කාන්තා ක්‍රිකට් අනාගතයේ අලුත් බලාපොරොත්තුව – කවීශා දිල්හාරි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පසුගිය දා අවසන් කළේ බංග්ලාදේශ……………

කුසල් පෙරේරා පිළිබඳව 2015 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නිවේදනයෙන් පසුව ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තයේ ටෙස්ට් තරගාවලිය අතරතුර කුසල් පෙරේරා නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි. 

ඉන් අනතුරුව ඔහුට ලන්ඩනයේ පොලිග්‍රාෆ් පරීක්ෂණයක් ඇතුළු තවත් පරීක්ෂණ රැසකට මුහුණ දීමට ඔහුට සිදු වූ බව ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබිණි. 

කුසල් පෙරේරාගේ නීතිඥයින් තර්ක කළේ මෙම අත්හිටුවීම අතරතුර ආදායම අහිමි වීම හැරුණු විට ඔහුගේ කීර්ති නාමයට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි. පෙරේරා වෙනුවෙන් නීතිමය පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරා ඇති නමුත්, කුසල් පෙරේරා වසර ගණනාවක් තිස්සේ ඔහුගේ තරග ආදායමෙන් එය ආපසු ගෙවා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<