“දේශපාලනයෙන් තොර ක්‍රීඩාවක්!” – හරින්ගෙන් නාමල්ට යෝජනාවක්

346

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනාධිකාරිය යටතේ ක්‍රීඩා අමාත්‍ය ධුරය හෙඹවූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අභිනවයෙන් එම තනතුරට තේරීපත් වූ ගරු නාමල් රාජපක්ෂ මහතාට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ දේශපාලනයෙන් තොර ක්‍රීඩාවක් සංකල්පය තවදුරටත් ශක්තිමත් වන අයුරින් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙරට ක්‍රීඩාවේ වගකීම හිටපු රග්බි නායකයාට

අනවශ්‍ය දේශපාලනික මැදිහත් වීම් සහ බලපෑම් නිසාවෙන් මෙරට ක්‍රීඩාව අගාධයට ඇද දැමීම වෙනුවට ශක්තිමත් වැඩපිළිවෙළක් සමඟින් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රය නඟා සිටුවීමට නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

තම ධුර කාලසමයේ දී පිළිලයක්ව තිබූ  එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා විශාල වැඩකොටසක් සිදු කළ බව පවසා සිටි හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ජාතික රග්බි කණ්ඩායමට නායකත්වය ලබා දුන් ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩාවේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අමුතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට කියා දීමට අවශ්‍ය නොවන බවයි. 

ක්‍රීඩකයෙකු ලෙස ලබා ඇති අත්දැකීම් සමුදායත් සමඟින් ඉදිරියේ දී වැඩ කටයුතු මෙහෙය විය යුතු ආකාරය පිළිබඳ දැවැන්ත වගකීමක් අභිනව ක්‍රීඩා අමාත්‍යවරයාගේ කර මත පැවරී ඇති බව ද හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (13) දිනයේ දී පැවති මාධ්‍ය හමුවක් වෙත සහභාගී වෙමින් අවධාරණය කර සිටියේය.

“ක්‍රීඩාව දේශාපාලනයත් එක්ක ගාව ගන්න එපා. විශේෂයෙන්ම ක්‍රීඩාවත් සමඟ සමීපව කටයුතු ක‍රපු, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු විදියට අලුත් ක්‍රීඩා අමාත්‍යවරයාට ලොකු වගකීමක් තියෙනවා මම කලින් සඳහන් කරා වගේ දේශපාලන අතගැසීම් වලින් තොර ක්‍රීඩා ක්ෂේත්‍රයක් ගොඩනඟන්න.”

“ඔහුගේ බාප්පා දැන් රටේ ජනාධිපති වගේම පියා රටේ අග්‍රාමාත්‍යවරයා. මම හිතන්නේ අපි ඉදිරියට ගෙනාපු දිවයිනේ සියලුම පළාත් ආවරණය පරිදි අංගසම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණ 9ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය පහසුවෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම දැන් ඔහුට සකස්වෙලා තියෙනවා.”

ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරන අයෙකු වශයෙන් ශ්‍රී ලාංකීය ක්‍රීඩා සන්නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය අභිනව ක්‍රීඩා අමාත්‍යවරයා සතු බැවින් ඔහු එම අපේක්ෂාවන් සියල්ලම මල් ඵල ගන්වන අයුරින් කටයුතු කරනු ඇතැයි අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<