කමිඳු මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ ලබයි

ICC Men's Emerging Cricketer Of The Year 

74
Kamindu Mendis

වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා.

ගෙවී යන 2024 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩකයින් වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය සඳහා කමිඳු ද ඇතුළුව ක්‍රීඩකයින් සිව්දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

කමිඳු විසින් 2024 වසරේ දී මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග 32ක් ක්‍රීඩා කර ඇති අතර, එහි දී ඔහු ලකුණු 1451ක් රැස් කිරීමට සමත් වී ඇත්තේ 50.03ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟයි.

මෙහි දී කමිඳු විසින් ටෙස්ට් තරගවල දී වඩාත් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට සමත් වී ඇත්තේ සිය පිතිකරණ සාමාන්‍ය 74.92ක් වැනි ඉහළ අගයක රඳවා තබා ගනිමිනුයි.

මේ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් ශතක පහක් මෙන්ම අර්ධ ශතක තුනක් ද වාර්තා වුනා. එමෙන්ම මේ අතරට ඔහු එංගලන්තයේ දී එංගලන්තයට එරෙහිව ක්‍රියාත්මක කළ විශිෂ්ට ටෙස්ට් ඉනිම් මෙන්ම, නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නොදැවී දියත් කළ ලකුණු 182ක ඉනිම ද ඇතුළත් වනවා.

මේ අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 1000 සීමාව පසු කිරීමට අවම ඉනිම් ප්‍රමාණයක් වැය කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානය (ඉනිම් 13ක දී) ලබමින් ශ්‍රේෂ්ඨ ක්‍රීඩක Don Bradman හා සම තැන් ගැනීමට ද කමිඳුට මෙම වසරේ දී හැකියාව ලැබුණා.

මීට අමතරව කමිඳු සමඟ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා එංගලන්තයේ Gus Atkinson (තරග 11 – කඩුලු 52), පාකිස්තානයේ Saim Ayub (එක්දින තරග 9 – ලකුණු 515) සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Shamar Joseph (ටෙස්ට් තරග 8 – කඩුලු 26) යන ක්‍රීඩකයින් ද නිර්දේශ වී තිබෙනවා.

අදාළ සම්මානය පිළිබඳ තොරතුරු මෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<