කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි

ICC Men's Player of the Month

248

ගෙවී ගිය මාර්තු මාසය සඳහා ICCය විසින් පිරිනමනු ලබන මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා කමිඳු මෙන්ඩිස් නිර්දේශ ලබා තිබෙනවා.

නිමා වූ බංග්ලාදේශ සංචාරයේ විස්සයි විස්ස තරගවල දී ලකුණු 68ක් රැස් කර ගැනීමට කමිඳු විසින් සමත් වූ අතර, ටෙස්ට් තරගාවලියේ දී තමන් කවුරුන් ද යන වග හොඳින් ම ලෝකයට වටහා දීමට කමිඳුට හැකියාව ලැබුණා.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමෙ කඩුලු 5ක් ලකුණු 57කට බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිසි කමිඳු, ධනංජය ද සිල්වා සමඟ ලකුණු 202ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වුනේ සිය මංගල ටෙස්ට් ශතකය ද වාර්තා කර ගනිමිනුයි.

එමෙන්ම තරගයේ දෙවැනි ඉනිමේ දී අංක අට පිතිකරු ලෙස පිටියට පිවිසි කමිඳු විසින් සිය හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 164ක් වාර්තා කිරීමට සමත් වුනා.

ගෙවුණු මාසයට අදාළ නොවූවත් ඔහු විසින් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ද පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වමින් තරගයේ වීරයා සම්මානය පවා දිනා ගැනීමට සමත් වුනේ කලකට පසුව ටෙස්ට් කණ්ඩායමට එක් වීමට ලද වරමෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමිනුයි.

එම දක්ෂතා හේතුවෙන් කමිඳු මෙම සම්මානය සඳහා ICC නිර්දේශ ලබා ඇති අතර ඔහුට අමතරව නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Matt Henry සහ අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Mark Adair ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<