නීති කැඩූ කමිල් මිෂාර දිවයිනට ගෙන්වයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

10080

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට සහභාගී වී සිටින කමිල් මිෂාර ‘නීති කඩ කිරීමක්’ සම්බන්ධයෙන් චෝදනා ලැබ නැවතත් දිවයිනට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා.

ඒ අනුව මෙම සංචාරයේ 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් ව සිටි වමතින් පිත්ත හසුරුවන කඩුලු රකින පිතිකරු මිෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔහු ආපසු පැමිණීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහු සිදු කරන ලදැයි පැවසෙන නීති කඩකිරීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵලය මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

21 හැවිරිදි මිෂාර මේ වසරේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ජාතික කණ්ඩායමට වරම් දිනා ගත් නමුත් සීමිත පන්දුවාර තරග සඳහා තවමත් ඔහුව තෝරාගෙන නැහැ.

2019 වසරේ පැවති 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර සිය කණ්ඩායම් සඟයන් වූ අහන් වික්‍රමසිංහ සහ අශේන් ඩැනියෙල් සමඟ එක්ව මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ වැරදිකරු වූ මිෂාරට වසරක අත්හිටවූ තරග තහනමක් සහ එක් තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් පෙර කටයුතු කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<