ඔබ අප කොයි කාටත් හඳුනා ගත්/ නොගත් දක්ෂතා දක්ෂතා රැසක් තියෙන්න පුළුවන්. සමහරු තම තමන්ගේ දක්ෂතා දන්නවා, තවත් සමහරු ඒ සැඟවුණු දක්ෂතා ගැන දන්නේ නැහැ.
මේ යොවුන් වීරයා වයසින් පුංචි වුනත්, කරලා තියෙන වැඩ බැලුවාහම ඔහු ඇත්තටම පුංචි නැහැ. බැඩ්මින්ටන්වලින් ක්‍රීඩා දිවිය ආරම්භ කරලා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම දක්වා ගිය ජනිෂ්ක පෙරේරා ගැනයි ThePapare.com මේ ලිපියෙන් කතා කරන්න හදන්නේ.
ක්‍රිකට් පටන් ගද්දී මොනවද හිතුවේ?
“නලින් සර් තමයි මගේ පළමු වැනි පුහුණුකරු. දැන් සර් පළාත් පුහුණුකරුවෙක් විදිහට වැඩ කරනවා. පුහුණුවීම් ගිය පළවෙනි දවසෙ නම් ලංකාවට ගහනවා කියලා ලොකු බලාපොරොත්තුවක් එහෙම දෙයක් දැනුනේ නැහැ” යැයි ජනිෂ්ක ඔහුගේ කතාව ආරම්භ කළා.
2001 අප්‍රේල් 23 වැනිදා උපත ලබන ජනිෂ්ක මේ දක්වා පාසල් මහා තරග දෙකක් ක්‍රීඩා කර තිබෙනවා. 2020 වසරේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායකයා වුනෙත් ජනිෂ්කයි. නමුත් අවාසනාවන්ත විදිහට 2020 පාසල් මහා තරගය සඳහා නායකත්වය ලබා දෙන්න ජනිෂ්කට හැකියාව ලැබුණේ නැහැ. ඒ කොරෝනා වසංගතය නිසා පාසල් මහා තරග ක්‍රීඩා කළේ නැති නිසයි.
පාසල් ක්‍රීඩා දිවියේ අමතක නොවන දස්කම් සහ මතක ගැන කතා කළොත්?
“වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ධර්මාශෝක විද්‍යාලය එක්ක තිබ්බ තරගයේ දී, එක ඉනිමක උඩ පන්දු 6ක් ඇල්ලුවා. ඒ තරගය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අවුරුද්දේ ලකුණු 450කට වැඩියෙන් ලබා ගන්න අපේ විද්‍යාලයට පුළුවන් වුනා. අපි අන්තිමට ඒ අවුරුද්දේ ශූරතාවයත් දිනා ගත්තා.
රෂාන්, ප්‍රදීප් සහ සමිත් සර්ලා තමයි වේගපන්දු යවන ක්‍රීඩකයෙක් ලෙස හිටපු මාව පිතිකරණ අංශයෙනුත් උස්සලා තිබ්බේ. මම බැඩ්මින්ටන් ගහන නිසා මම මැණික් කටුව හොඳට හසුරුවනවා කියලා මාව පිතිකරුවෙක් කළා. එතැනින් පස්සේ මගේ ක්‍රිකට් දිවිය ගොඩක් වෙනස් වුනා.”
“මම දැන් අවුරුදු 8ක් විතර පාසලට ක්‍රිකට් ගහලා තියෙනවා. 13න් පහළ තරගාවලියේ තවත් අවුරුද්දක අපි අන්තිම කණ්ඩායම් 8 දක්වා පැමිණියා. ඒ ආපු ගමනේ හොඳම තරග දෙකක දී ඒ කියන්නේ දිනන්න ඕනෙම තරග දෙකක දී මට ලකුණු අතරට එන්න පුළුවන් වුනා. ඒ අවුරුද්දේ අපේ කණ්ඩායමේ නායකයා වුනේ නිෂිත අභිලාෂ්.
15න් පහළ තරගාවලියේ දී ශතකයක් ලබා ගන්න පුළුවන් වුනා. ඒ වගේ තරගාවලියක ශතකයක් ගහනවා කියන්නේ ලොකු දෙයක්. අවාසනාවන්ත විදිහට අපි නාලන්දා විද්‍යාලයට පරාජය වුනු නිසා අපිට තරගාවලියෙන් අයින් වෙන්න වුනා. මම එතකොට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට තමයි කණ්ඩායමේ හිටියේ. මම උඩ ඉඳන් අංක 7 වෙනකන් හැම තැනම බැට් කරලා තියෙනවා. මට ඕනෙම තැනක බැට් කරන්න පුළුවන්. මම පන්දු රකින්නම ආස ස්ලිප් එකේ.
2017 වසරේ තිබ්බ 17න් පහළ තරගාවලියේ දී මම සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කළා. මම පළවෙනි කාසියේ වාසියම දින්නා. ඒ තරගයත් අපි දින්නා. ඒ අවුරුද්දේ තිබ්බ තර්ස්ටන් තරගය කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ තරගය අපි අන්තිම මොහොතේ ලකුණු 5කින් දින්නේ. ඒ වගේම ඒ අවුරුද්දේ අපි අනුශූරතාව දිනා ගත්තා.”
පාසල් මහා තරගවල දස්කම් කොහොමද?
“මම සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් 2018 සහ 2019 වසරවල දී පාසල් මහා තරගවලට සෙල්ලම් කළා. 2020 මම තමයි නායකයා විදිහට ක්‍රීඩා කරන්න හිටියේ. හැබැයි කොරෝනා නිසා ඒ තරග තියන්න බැරි වුනා.
2018 තිබ්බ දෙදින මහා තරගයේ දී මං ලකුණු 32ක් ලබා ගත්තා. පළමු ඉනිමේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුනේ මම. 2019 තිබ්බ පාසල් මහා තරගයේ දී (එක්දින) ලකුණු 54ක් ලබා ගන්න මට පුළුවන් වුනා.”
තවත් විශේෂාංග ලිපි:
- පරම්පරා නාමයෙන් ක්‍රිකට් ලොව ජය ගත් “සම්මු”
- පානදුරෙන් පැමිණ කොළඹ දිනූ “කමිල් මිෂාර”
- දඟපන්දුවෙන් ප්‍රවීණයෙක් වීමට උත්සාහ කරන “ප්‍රවීන්”
- ක්‍රිකට් පිටියට තිත තැබූ කැන්ඩි කෙල්ල
- ශ්‍රී ලංකා කිරුළ දරණ යොවුන් වීරයා “නිපුන් ධනංජය”
ඔයා දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් කියලත් ආරංචියි. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
“ඔව්, මම බැඩ්මින්ටන් සහ ක්‍රිකට් දෙකම එකට සමබරව ක්‍රීඩා කළා. ක්‍රීඩා දෙකෙන්ම ජාත්‍යන්තර මට්ටමට යන්න මට පුළුවන් වුනා. දවල්ට ක්‍රිකට් පුහුණුවීම් යනවා. ඉවර වෙලා ඉක්මනට ගෙදර ඇවිල්ලා මොනවා හරි ටිකක් කාලා රෑට පැයකට දෙකකට වගේ බැඩ්මින්ටන් පුහුණුවීම් කරනවා. ඒ කාලේ ගෙවුණු විදිහ දැනුනේම නැහැ. ගෙවලුත් පාසල ළඟම නිසා ලොකු ගැටලුවක් වුනේ නැහැ.”
“බැඩ්මින්ටන් ක්‍රීඩා කරන කාලේ 13න් පහළ තරගාවලියක (මාලඹේ SLIIT තරගාවලිය) බැන්ජාඩ් කියලා ක්‍රීඩකයෙක්ට මම 23-6ක් තියලා තරගය දින්නා. ඒකේ හොඳම දේ තමයි මම එයත් එක්ක කලින් තරග 16ක් පරාජය වෙලා හිටියේ. හැබැයි මම අන්තිමට එයාව පරාජය කළා. ඒක සමස්ත ලංකා තරගාවලියක් වුනත් පොදු මට්ටමේ තරගාවලියක්.
සාන්ත සෙබස්තියන් බැඩ්මින්ටන් කණ්ඩායමේ වගේම ක්‍රිකට් කණ්ඩායමෙත් නායකත්වය ගන්න මට පුළුවන් වුනා. බැඩ්මින්ටන්වල නම් නායකයෙක් විදිහට ලොකු දෙයක් කරන්න නැහැ. හැබැයි ක්‍රිකට්වල එහෙම නැහැ. එතන තියෙන වගකීම ටිකක් වැඩියි.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තේරුණු එක ගැන මොකද හිතෙන්නේ?
“2018 වසරේ තිබ්බ පළාත් තරගාවලියේ දී තරග බලන්න ශ්‍රී ලංකා 19න් පහළ පුහුණුකරුවන්, තේරීම් කමිටු සාමාජිකයින් එහෙම ඇවිල්ලා හිටියා. තරග හැම එකක දී ම වගේ මම ලකුණු අතරට ආවා. ඒ වගේම පරදින්න ගිය තරග කිහිපයකුත් බේරුවා.
පස්සේ හෂාන් සර් තරග කිහිපයක් බලලා අපේ තාත්තට සහ පාසලේ ප්‍රධාන පුහුණුකරු වුන ඉමාල් බොතේජු සර්ට කියලා තිබ්බා මගේ දස්කම් ගැන. මම තරගයක ඇතිවෙන පීඩනය හසුරුවන්න ගොඩක් දක්ෂයි කියලත් තිබ්බා.
ඒ පීඩනය හසුරුවන එක, ඉක්මනින් හිතන එක, stretching එහෙම කරන එක වගේම පන්දුවට තියෙන eye contact එක මගේ හොඳ මට්ටමක තියෙනවා කියලා ගොඩ දෙනෙක් කිව්වා, මම හිතන්නේ මට ඒ දේවල් ලැබුනේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්.
කොහොම හරි 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට තිබ්බ trial එකට මාව තේරුණේ නැහැ. මොකද ඒ කාලේ හිටපු team එක හොඳයි, ඒ team එකේ පරණ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම හිටියා. හැබැයි පස්සේ තිබ්බ trial එකට මට කතා කළා. ඒකෙත් මම මගේ සුපුරුදු විදිහටම ක්‍රීඩා කරලා දස්කම් පෙන්නුවා.
19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට (බංග්ලාදේශ තරග සංචාරයට) මාව තේරුණා කියලා මම දැනගත්තේ 2018 තිබ්බ 17න් පහළ අවසන් මහා තරගය දවසේ දී, ෆ්‍රෑන්ක් සර් call එකක් දීලා මට කිව්වම මමත් පුදුම වුනා.
සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් මෑත කාලයේ ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ අවසන් ක්‍රීඩකයින් 15ට තේරුණේ මම. මට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් පළමු තරගය ක්‍රීඩා කරන්න කලින් ඒ හිස්වැස්ම ලබා දුන්නේ අර්ජුන රණතුංග සර්, ඉතින් ඒ දවසත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ” යැයි ජනිෂ්ක සිය මතකය අවදි කළා.
පාසල් ක්‍රිකට්වලින් පස්සේ ඉදිරිය කොහොමද සැලසුම් කරලා තියෙන්නේ?
“පාසල් ක්‍රිකට් දිවිය අවසන් කරලා මට සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන ක්‍රීඩා සමාජයක සෙල්ලම් කරන්න තමයි මම ආසාවෙන් ඉන්නේ. එහෙම නැතිව ලොකු club එකක සෙල්ලම් කරලා වැඩක් නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒ වගේ club වල ඇතුළේ ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ. හැබැයි පොඩි club එකක හොඳට සෙල්ලම් කරලා ගියාම ඕන club එකක ඇතුළේ සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා.
මම මේ අවුරුද්දේ තිබ්බ 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළා. එකේ දී තරග තුනක දී අර්ධ ශතකයක් එක්ක ලකුණු 104ක් ලබා ගන්න මට පුළුවන් වුනා. ඒ වගේම මම මේ අවුරුද්දේ තිබ්බේ ප්‍රිමියර් තරගාවලියෙත් තරග දෙකක් ක්‍රීඩා කළා රාගම කණ්ඩායමට” යැයි ජනිෂ්ක මෙවර තරග වාරය පිළිබඳව ThePapare.com වෙත පැවසුවා.
ජනිෂ්ක ගැන ජනිෂ්කගේ දෙමව්පියන් කියන කතා.
“අපේ පොඩි පුතා මුලින්ම ගියේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට, හැබැයි එකේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නැහැ. මෙයා ක්‍රිකට් ගහන්න ගොඩක් ආස වුන නිසා අපි මෙයාව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පියතුමා එක්ක කතා කරලා සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් කළා.
අපි මෙයාව ක්‍රිකට්වලට දාන්න හැදුවත් තුන වසරෙන් ක්‍රිකට් පටන් ගන්න බැහැ කියලා අපිට සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් කිව්වා. පස්සේ අපි මෙයාම කැමැත්තෙන් බැඩ්මින්ටන්වලට ගියා.”
“පස්සේ බැඩ්මින්ටන් කෝච් කරපු අපොන්සු සර් සපත්තු, රැකට්ස් එහෙම අරගෙන දීලා මෙයාට ගොඩක් උදව් කළා. 11න් පහළ තරගාවලියට අවුරුදු 8 දී තේරුණා. පළවෙනි අවුරුද්දේ පරාද වුනත්, ඊළඟ අවුරුදු තුනේම final ආවා අපේ පුතා.
පස්සේ පස්සේ පාසලේ ළමයින් ක්‍රිකට් ගහනවා දැකලා මෙයා ආයිත් ක්‍රිකට්වලට යන්න ඕනේ කියලා අඬන්න ගත්තා. හැබැයි බැඩ්මින්ටන් කෝච් සර් මෙයාට ක්‍රිකට්වලට යවන්න වැඩිය කැමති වුනේ නැහැ. පස්සේ මම කරපු වැඩේ මෙයාව පුළුවන් පුළුවන් හැම වෙලාවේම ටිරෝන් ග්‍රවුන්ඩ් එකට එක්කන් ගිහිල්ලා ටිකක් පුහුණු කෙරෙව්වා මම දන්න විදිහට.
එහෙම ක්‍රීඩා කරනකොට එක ළමයෙක් (තරුෂ ප්‍රනාන්දු) එතන ක්‍රිකට් පුහුණු වෙන්න ආවා. ඒ ළමයව අපි මුලින් දන්නේ නැහැ. ඒ ළමයා අපේ පුතාට බෝල ටිකක් දාලා ඉවර වෙලා මට කිව්වා, අන්කල් මෙයා හොඳට සෙල්ලම් කරනවා. කොහේද ඉස්කෝලේ කියලා ඇහුවා. ඊට පස්සේ තමයි මේ ළමයා කිව්වා එයා සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායමේ නායකයා කියලා.”
“ඒ පුතා පාසලේ ක්‍රිකට් පුහුණුකරණ සර්ටත් කියලා මෙයාව (ජනිෂ්කව) ක්‍රිකට්වලට ගන්න උත්සහ කළත්, බැඩ්මින්ටන් පුහුණුකරණ සර්ලා පොඩ්ඩක් අදිමදි කළා ක්‍රීඩා දෙකක් එකට කරගෙන යන්න අමාරුයි කියලා. මෙයා කොහොම හරි දෙකම කළමනාකරණය කර ගත්තා. මෙයා අවුරුදු 11 දී 13න් පහළ, 15න් පහළ තරගාවලිවල දී පවා හොඳටම බැඩ්මින්ටන්වලින් දස්කම් පෙන්නුවා” යැයි ජනිෂ්කගේ පියා වන ජීවක පෙරේරා මහතා පවසා සිටියා.
“අවුරුදු කිහිපයක්ම බැඩ්මින්ටන්වලින් මෙයාට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මොකද මෙයා ඒ ඒ වයස් කාණ්ඩවලින් අවුරුදු කිහිපයක්ම එක දිගට සමස්ත ලංකා අංක 1 වුනත්, මෙයා ඒ තරගාවලිවලට ගියේ නැහැ. මොකද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් එකට අපි සල්ලි දෙන්න ඕනේ ළමයාගේ වියදම්වලට. අපිට එහෙම හැකියාවක් තිබ්බත්, අපේ දුවගේ තිබ්බ සැත්කම්වල ගාස්තු වගේම ඒ ප්‍රතිකාරවලට යන වියදම වැඩි නිසා මෙයා ඒ බැඩ්මින්ටන් සංචිතවලින් ලියුම් දීලා අයින් වුනා.
ඒ අවස්ථාව රාජකීය විද්‍යාලයේ නිලේෂ් පුතාට ලබා දුන්නා. ඒ පුතත් ගොඩක් දක්ෂයි බැඩ්මින්ටන්වලට. ඒක නිසා ඒ ළමයාගේ දෙමව්පියෝත් පස්සේ පස්සේ අපිට උදව් කළා. ඒ වගේමයි මෙයාට පොඩි නංගි කෙනෙක් හිටියා එයාට මොළයේ පිළිකාවක් තිබ්බා. නංගිත් ගොඩක් ආසයි බැඩ්මින්ටන්වලට, ඒක නිසා පොඩි අයියා බැඩ්මින්ටන් තරග දිනලා එනකන් නංගි මග බලාගෙන ඉන්නවා. ඒක නිසා ජනිෂ්කට බැඩ්මින්ටන් තරග පරාද වෙලා එන්න ටිකක් අමාරුයි. මොකද එය කැමති නැහැ නංගිව දුකෙන් තියන්න. ඒ වගේම තමයි මෙයා බැඩ්මින්ටන් තරගයක් දිනලා ගන්න පදක්කම් ගෙදර ගෙනාපු ගමන් මුලින්ම දාන්නේ නංගිගේ බෙල්ලට.”
වැස්සොත් බැඩ්මින්ටන් පුහුණුවීම්වලට යනවා. නැත්නම් ක්‍රිකට්වලට යනවා. නුවරඑළියේ බැඩ්මින්ටන් තරගාවලියක් තිබ්බා ජාතික මට්ටමේ මෙයා open තරගාවලිය යුගල තරග ඉතාමත් හොඳින් සෙල්ලම් කළා.
පළවෙනි සෙට් එක ගොඩක් වෙලාවට පැරදිලා දෙවැනි තුන්වැනි set එක දිනනවා. මොකද මෙය පළවෙනි set එකේ දී පුහුණුවීම් වෙන්නේ. මෙය ඒ තරගාවලියේ දක්වපු දස්කම් නිසා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති තුමා ඒ තරගාවලිය ඉවර වෙලා අපිව හොයාගෙන ඇවිල්ලා ඇහුවා, කොහෙද මෙච්චර කල් හිටියේ කියලා. පස්සේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් එකෙනුත් උදව් කළා.
ඒත් මෙයා බැඩ්මින්ටන් වලට වඩා ක්‍රිකට් වලට ගොඩක් ආස කළා. ඒක නිසා බැඩ්මින්ටන්වල පුහුණුවීම් ටිකක් මඟ ඇරුණා. මෙයා බැඩ්මින්ටන් ටීම් එකේ නායකයා වෙලා ඉන්නවට අනික් ළමයි ගොඩක් කැමති වුනා මොකද මෙයාට ළමයින්ගේ මානසිකත්වය ගොඩක් උස්සල තියන්න පුළුවන් වුනා” යැයි ජනිෂ්කගේ මව පවසා සිටියා.
ජනිෂ්කගේ ස්තූතිය,
“ඇත්තටම මම අද ඉන්න තැනට ආවේ තනියම නෙමෙයි, මගේ අම්මා, තාත්තා, අයියා වගේම නංගි ගොඩක් උදව් කළා. නංගි අද අපිත් එක්ක නැති වුනත් එයා දැන් ඉන්න තැනක ඉඳන් සතුටින් ඇති කියලා මම හිතනවා.
ඒ වගේම පවුලේ නෑදෑ හිත මිතුරන්, ක්‍රිකට් සහ බැඩ්මින්ටන් පුහුණුකරුවන්, පරණ ක්‍රිකට් ක්‍රීඩකයින්, බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ දෙමව්පියන් මේ වගේ ගොඩ දෙනෙක් මම මේ ඉන්න තැනට එන්න උදව් කළා. ඒ හැමෝවම මම නම් වශයෙන් කිව්වේ නැතත් වචනයකින් හරි මට උදව් කරපු හැමෝටම මම ස්තූතිය කරන්න ඕන” යැයි ජනිෂ්ක සිය අවසන් වශයෙන් පැවසුවා.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<