ආසියානු 2021 රග්බි කාලසටහනට ශ්‍රී ලංකාව සූදානම් ද?

271
Sri Lanka ready for 2021 Asia rugby

2020 වසරේ තිබූ තරගාවලි රැසක් කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදුවීමෙන් අනතුරුව ආසියානු රග්බි සම්මේලනය විසින් 2021 නව වසරට අදාළ ආසියානු රග්බි කාලසටහන ප්‍රකාශයට පත් කරන තිබෙනවා.

එහි දී මෙම වසර තුළ ආසියානු රග්බි පිටියේ තරගාවලි හයක් පැවැත්වීමට නියමිතව ඇති අතර එයින් දෙකකම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

එනමුත් මෙරට රග්බි ව්‍යුහයේ ඇති වූ යම් ගැටලුකාරී තත්වයන් මෙන්ම මෙරට තුල පැතිර ගිය කොරෝනා වසංගත තත්වය නිසාවෙන් 2019 වසරේ නොවැම්බර් මාසයේ නිමා වූ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරුව ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු සිදු කර නැත.

2021 ආසියානු රග්බි කාලසටහන ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 31 ආරම්භ වීමට නියමිතව ඇති ආසියානු වයස අවුරුදු 19න් පහළ පිරිමි රග්බි ශූරතාව සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ලොව පුරා ඇතිවූ අයහපත් සෞඛ්‍ය තත්වය යටතේ එම තරගාවලිය මාර්තු මස දක්වා කල් දැමීමට තීරණය කරන ලදි.

පළමු කාණ්ඩයේ ලද ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ ලබා ගනිමින් සුපිරි කාණ්ඩයට වෙත පැමිණීමට සමත් වූ අතර ඔවුන් එම කාණ්ඩයේ දී Chinese Taipei, Korea සහ වත්මන් ශූරයන් වන Hong Kong කණ්ඩායම් සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

සෑම වසරකම පැවැත්වෙන පාසල් රග්බි ශූරතාවයෙන් පසු එහි දී දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ගෙන් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සකස් කරන නමුත් පසුගිය වසරේ පැවති Dialog Schools Rugby 2020 තරගාවලිය අවලංගු කිරීමට සිදු වීමෙන් පසු නව කණ්ඩායම තෝරා ගැනීම ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ඉතා අපහසු කටයුත්තක් වනු ඇත.

නමුත් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය හට එම කණ්ඩායම තෝරා පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට තවමත් කාලය ඇති නමුත් ඔවුන් එම සියලූම කටයුතු මෙම මස අවසානයට පෙර සිදු කළ යුතු වේ.

තවද ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට මෙරට කණ්ඩායම එම තරගාවලිය සඳහා සහභාගි වනවා ද හෝ නැද්ද යන්න ආසියානු රග්බි සම්මේලනය වෙත දැනුම් දීමට නියමිතව ඇති අතර යම් හෙයකින් එයට සහභාගි වන බව දැනුම් දී සහභාගි වීමට අසමත් වුවහොත් බොහෝ විට විශාල දඩයකට යටත් වීමට සිදු වනු ඇත.

තවත් රග්බි පුවත්:

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය නැවතත් කොළඹට 

කොරෝනා වසංගතය නිසාවෙන් 2020 වසරේ පැවැත්වීමට තිබූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය නොපැවැත්වීමට සිදුවීමෙන් අනතුරුව නොකඩවා හයවැනි වරටත් මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය මෙරටට හිමිව ඇත.

අදියර තුනක් යටතේ පැවැත්වෙන එම තරගාවලියේ තුන්වැනි අදියර සඳහා 2020 තෙක් සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් 2018 වසරේ දී ලබා ගැනීමට සමත් වූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් 2020 තරගාවලිය නවතා දැමීමට සිදු විය.

එම නිසාවෙන් එම තරගාවලියේ තෙවැනි අදියරේ සත්කාරකත්වය දැරීමට සිටි ශ්‍රී ලංකාව 2021 තරගාවලියේ තෙවැනි අදියරේ සත්කාරකයන් ලෙස කටයුතු කිරීමට නියමිත ඇත.

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අතරතුරදී

එම තරගාවලියේ මුල් අදියර අගෝස්තු 28 දකුණු කොරියාවේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවන අදියර සැප්තැම්බර් මස 11 වැනිදා චීනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඉන්පසුව තරගාවලියේ අවසන් අදියර ලෙස තෙවැනි අදියර සැප්තැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම 2019 නොවැම්බර් මස අවසන් වූ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව කිසිදු පුහුණුවීමක් සඳහා එක්ව නොමැති අතර කණ්ඩායම සඳහා පුහුණුකරුවෙකු, ඉහළ කාර්යසාධන කළමනාකරුවෙකු වැනි ප්‍රධාන නිලධාරීන් මේ දක්වා පත්කොට නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයන්හී පස්වැන්නා ලෙස තරගාවලිය අවසන් කිරීමෙන් පසුව හිටපු පුහුණුකරු වූ Matt Lee සමඟින් තිබූ ගිවිසුම අවලංගු කිරීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කරන ලදි.

මීට අමතරව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති Rizly Illyas මහතා විසින් රග්බි ක්‍රීඩාව සංවර්ධනයට මිලියන 225ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති නමුත් මේ දක්වා එයට අනුමැතිය හිමිව නැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<