මැක්ස්වෙල් – ප්ලෙසිස් දරුණු ප්‍රති ප්‍රහාරයෙන් රාජස්ථාන් කඳවුර දෙදරයි!

1590
Royal Challengers Bangalore v Rajasthan Royals
Credit : BCCI

මේ දක්වා Indian Premiere League තරගාවලියේ අංක එක ස්ථානයේ රැඳී සිටින ප්‍රබල Rajasthan Royals කණ්ඩායම ලකුණු 7කින් පරාජය කිරීමට අද (23) Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා. ඒ Du Plessis සහ Glenn Maxwell අතර ගොඩ නැගුනු ශතක සබඳතාවයත්, Harshal Patelගේ පන්දුකරණයත් නිසයි.

දිවා තරගයක් ලෙස අද තරගය ක්‍රියාත්මක වුනේ බැංගලෝර් හි එම්. චින්නස්වාමි පිටියේදීයි. එහිදී කාසියේ වාසිය දිනාගත් Rajasthan නායක Sanju Samson මුලින් පන්දු යැවීම තෝරා ගත්තා. අද බැංගලෝර් නිත්‍ය නායක Faf Du Plessis පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායම සමඟ එක්ව සිටි නිසා වැඩ බලන නායකත්වය හිමිව තිබුනේ Virat Kohliටයි.

ඔහු අද ඉනිම ආරම්භ කරමින් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ මුළු චින්නස්වාමි ක්‍රීඩාංගණයම නිහඬතාවයේ ගිල්වා දමමින්. මෙම තීරණාත්මක කඩුල්ල ඇතුලට දෝලනය වූ සුපිරි පන්දුවක් යොමුකළ Trent Boultට හිමිවුනා. තෙවැනි පන්දුවාරයේ දී නැවතත් ක්‍රියාත්මක වූ Boult, Shahbaz Ahmed පිටියෙන් ඉවත් කරන්නේ Bangalore ඉනිමේ කඩුලු 2ක් ලකුණු 12ක් තුල බිඳ දමමින්.

නමුත් මෙවන් අවස්ථා සිය ගණනකට මුහුණ දී අත්දැකීම් ඇති Du Plessis සහ Glenn Maxwell රාජස්ථාන් බල පරාක්‍රමය හමුවේ හිස නමනවා වෙනුවට ඊලඟ පන්දුවේ සිටම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කරන්නේ බියෙන් තැතිගෙන සිටි අනුෂ්කා ශර්මා ඇතුළු බැංගලෝර් ප්‍රේක්ෂකයින්ට නැවතත් නිදහසේ හුස්ම ගැනීමේ ඉඩ ප්‍රස්ථාව විවර කරමින්.

ඔවුන් පවර්ප්ලේ පන්දුවාර 6න් 5කදීම ලකුණු 10 පසුකර ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. Maxwell – Plessis ප්‍රහාරය පවර්ප්ලේ අවස්ථාවෙන් පසුවත් නොකඩවා ක්‍රියාත්මක වූ අතර ඔවුන් අද තෙවැනි කඩුල්ලට ලකුණු 127ක් එකතු කරන්නේ පන්දු 67ක් පමණක් ඒ වෙනුවෙන් වැය කරමින්. මෙම විශිෂ්ට ප්‍රහාරය නිසා RCB කණ්ඩායම හරියටම පන්දුවාර 15ක් නිමා වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා.

Plessis පන්දු 39කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිද්දී, වඩාත් ආක්‍රමණශීලී වූ Maxwell පන්දු 77කින් ලකුණු 44ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි. ක්‍රිකට් පිටියේ කලාතුරකින් දකින්නට ලැබෙන Switch-Hit පහරවල් වලින් පවා හැඩ ගැන්වුනු Maxwellගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

ඉනිමේ අවසන් කොටසේදී බැංගලෝර් පසුපෙළ පිතිකරුවන් සුවිශේෂී යමක් කිරීමට අපොහොසත් වූ නිසා අවසන් ලකුණු සංඛ්‍යාව 189කට කඩුලු 9ක් ලෙස සටහන් වුනා. වනිඳු හසරංග අද අංක 8 පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දු 7කින් රැස්කළේ ලකුණු 6ක් පමණයි. එහිදී Dinesh Karthikට පිතිකරණ අන්තය ලබාදීම වෙනුවෙන් මග හැරුනු පන්දුවකට දුව යාමට උත්සාහ කළ වනිඳු අවසානයේ දුවද්දී දැවී යාමට හසුවුනා.

RCB ඉනිම ආරම්භයේ Kohli දැවී ගිය අයුරින්ම Royals ඉනිමේ පළමු පන්දුවාරයේදීම ඔවුන් මහත් බලාපොරොත්තු තබා සිටි Jos Buttlerට කඩුල්ල අහිමි වුනා. ඒ Mohommed Siraj යැවූ පන්දුව Buttlerගේ පා ඉන්න බිඳ දැමීමත් සමඟයි. නමුත් සටන අත් නොහැරි Devdutt Padikkal සහ Yashasvi Jaiswal රාජස්ථාන් ඉනිම ලකුණු 99ක් දක්වාම ඇදගෙන ගියේ තවදුරටත් බලාපොරොත්තු ඉතිරි කරමින්.

Devdutt Padikkal අද පන්දු 34කට මුහුණ දෙමින් ලකුණු 52ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින්. මෙවර IPL තරග වාරයේ සාර්ථක ඉනිම් කිහිපයකට හිමිකම් කියූ ආරම්භක පිතිකරු Yashasvi Jaiswal ඉතා හොඳින් ඉනිම ආරම්භ කරමින් පන්දු 37කින් ලකුණු 47ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට එකතු කර ගනිමිනුයි.

නමුත් අර්ධ ශතකය ආසන්න වනවාත් සමඟම Jaiswalගේ ප්‍රහාරක වේගය අනවශ්‍ය ලෙස අඩුවී ගිය අතර මෙය කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය සපුරා ගැනීමටත් අහිතකර ලෙස බලපෑවා. මේ නිසාම ඔවුන්ට පන්දුවාර 11ත් පන්දුවාර 14ත් අතර එකදු හතරේ පහරක් හෝ ලබා ගැනීමට හැකිවුනේ නැහැ. බැංගලෝර් කණ්ඩායමට නිහඬ සේවයක් ඉටුකළ හසරංග මෙම පන්දුවාර 4න් 2ක්ම ක්‍රියාත්මක කළා.

තමන් අමාරුවේ වැටුනු බව පසුව වටහාගත් රාජස්ථාන් කණ්ඩායම ඉනිමේ අවසන් කොටසේදී තම ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළත් පන්දු රකින්නන්ගේ උදව් හොඳින් ලැබුනු බැංගලෝර් පන්දු යවන්නන් කිසිදු ලකුණක් පහසුවෙන් ලබා ගැනීමට ඉඩ දුන්නේ නැහැ. එහිදී Nicholas Hetmyer දුවද්දී දවා ගැනීමට Prabhudessai අති විශිෂ්ට ලෙස පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කිරීම තරගයේ තීරණාත්මක අවස්ථාවක් වුනා.

අවසන් පන්දුවාරය දක්වාම තරගය ඇදගෙන යාමට මහන්සි ගත් Dhruv Jurel අද පන්දු 16කින් ලකුණු 34ක් නොදැවී ලබා ගත්තා. මීට අමතරව Ashwin පන්දු 6කින් ලකුණු 12ක් රැස් කළා. නමුත් ඔවුන් දෙදෙනාට සපුරා ගැනීමට අපහසු තරමේ ඉලක්කයක් මැද පන්දුවාර වල ලකුණු වේගය ගිලිහී යාම නිසා හිමිවී තිබුනා. අද සාර්ථක පන්දු යැවීමක යෙදුනු Harshal Patel ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා.

කඩුලු හිමි නොවූවත් වනිඳු හසරංග තම පන්දුවාර 4 ලකුණු 32කට නිමා කිරීම මෙවන් ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා වූ තරගයක හොඳ පන්දු යැවීමක් ලෙස සැලකිය හැකියි. මේ නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 182ක් පමණයි. තරගයේ වීරයා සම්මානය අවදානමේ වැටී සිටි කණ්ඩායම විශිෂ්ට ඉනිමක් සමඟින් ගොඩගත් Glenn Maxwellට හිමිවුනා.

Royal Challengers Bangalore – කඩුලු 9ක් දැවී ලකුණු 189 (පන්දුවාර 20)

Glenn Maxwell 77, Faf Du Plessis 62, Dinesh Karthik 16, වනිඳු හසරංග 6, Trent Boult 2/41, Sandeep Sharma 2/49, Yuzvendra Chahal 1/28.

Rajasthan Royals – කඩුලු 6ක් දැවී ලකුණු 182 (පන්දුවාර 20)

Devdutt Padikkal 52, Yashasvi Jaiswal 47, Dhruv Jurel 34, Sanju Samson 22, Ravichandran Ashwin 12, Harshal Patel 3/32, David Willey 1/26, Mohommed Siraj 1/39.

Indian Premiere League තරගාවලියේ Chennai Super Kings සහ Kolkata Knight Riders අතර තරගය මේ වනවිට Eden Garden පිටියේදී ක්‍රියාත්මක වනවා. එහි සියලු තරග තොරතුරු මෙන්ම IPL තරගාවලියේ මිහිර සජීවීව විඳ ගන්නට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<