ශ්‍රී ලංකා Masters කොදෙව්වන් හමුවේ පසු බසී

International Masters League 2025

8
International Masters League 2025

International Masters League ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙන් ම පළමු වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ද හිමිකර ගත් ශ්‍රී ලංකා Masters කණ්ඩායම අත්‍යවශ්‍ය ම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් වෙතින් ලකුණු 6කින් පරාජයට පත් වීමත් සමඟින් ඔවුන් ගේ මෙම තරගාවලියේ ගමන නිමා වෙනවා.

ඉන්දියාවේ Raipur හී Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී (14) පැවැති මෙම තරගයයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා  Masters කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 179ක් ලබා ගත් අතර  ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා Masters කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් පමණයි.

ශ්‍රී ලංකා Masters කණ්ඩායම

කුමාර් සංගක්කාර (නායක සහ කඩුලු රකින්නා), උපුල් තරංග, ලහිරු තිරිමාන්න, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්.

බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායම

Brian Lara (නායක), Dwayne Smith, William Perkins, Lendl Simmons, Ashley Nurse, Chadwick Walton, Denesh Ramdin (කඩුලු රකින්නා), Tino Best, Jerome Taylor, Sulieman Benn, Ravi Rampaul

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූව ද එතැන් සිට ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ඔවුන් සමත් වූවා.

එහි දී Denesh Ramdin පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගැනීම කැපී පෙණුනා. ඔහු නායක Brian Lara සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 49ක සබඳතාවක්  එක් කිරීමට ද සමත් වෙනවා.

අනතුරු ව ඔහු Ashley Nurse (නොදැවී 2) එක් අන්තයක තබා ගනිමින් 6 වැනි කඩුල්ලට පන්දු 9ක දී නොදැවුණ ලකුණු 24ක් ද එක් කරනවා.

ඒ කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් Masters ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩනැගෙන්නේ Brian Lara සහ Chadwick Walton අතරයි. ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක දී ලකුණු 60ක් එක් කරනවා.

Chadwick Walton පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගනිද්දී Brian Lara පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු Lendl Simmons පන්දු 12කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 17ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අසේල ගුණරත්න, ජීවන් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ශ්‍රී ලංකා Masters ඉනිම උපුල් තරංග සහ කුමාර් සංගක්කාර විසින් ආරම්භ කරන ලද අතර ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 31ක් ලබා ගන්නවා. පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ නායක කුමාර් සංගක්කාරට මෙම තරගයේ දී ලබා ගැනිමට හැකි වෙන්නේ ලකුණු 17ක් පමණයි. ප්‍රතිවාදී නායක Brian Lara විසින් රැකගත් උඩ පන්දුවක් හේතුවෙන් සංගක්කාරගේ ඉනිම පන්දු 15කින් නිමා වෙනවා. ඒ වෙද්දී ඔහු තම ඉනිමට හතරේ පහර 2ක් ඇතුලත් කරගෙන තිබුණා.

අනතුරු ව පිටියට පිවිසි ලහිරු තිරිමාන්නට ලබා ගැනීම හැකි වෙන්නේ ලකුණු 9ක් පමණයි. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී උපුල් තරංග ගේ ඉනිම ද අවසන් කිරීමට Tino Best සමත් වෙනවා.

ඒ වෙද්දී උපුල් තරංග පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

අසේල ගුණරත්න එක් අන්තයක සිටිමින් සීක්කුගේ ප්‍රසන්න (9), චතුරංග ද සිල්වා (3) සහ ජීවන් මෙන්ඩිස් (4) අඩු ලකුණුවලට තම ඉනිම් හැර යෑම බලා සිටියා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු කඩුලු 6ක් දැවී ලකුණු 97ක් ලෙසයි.

එම අවස්ථාවේ දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඉසුරු උදාන හා එක් වූ අසේල ගුණරත්න පන්දු 19ක දී ලකුණු 39ක් ද සහ ඩිල්රුවන් පෙරේරා සමඟ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15ක දී ලකුණු 29ක් ද එක් කළා.

ඉසුරු උදාන පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද සහ ඩිල්රුවන් පෙරේරා පන්දු 6ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබා සිටියා.

තරගයේ තීරණාත්මක පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය වෙනවා. Lendl Simmons විසින් යැවුණ එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම හයේ පහරක් එල්ල කරන අසේල ගුණරත්න ඊළඟ පන්දුවේ දී තවත් ලකුණු 2ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය අඩු කර ගන්නවා.

ඒ අනුව අවසන් පන්දු 4ට ලකුණු 7ක් අවශ්‍ය වෙද්දී ඉන් පන්දු 3ක් නිලකුණුව යවන Lendl Simmons අවසන් පන්දුවේ දී අසේල ගුණරත්න ගේ ඉනිම ද හමාර කරමින් තරගයේ ජයග්‍රහණය පමණක් නොව අවසන් තරගය සඳහා තම කණ්ඩායමට සුදුසුකම් ලබා දීමට ද සමත් වෙනවා.

අසේල ගුණරත්න දැවී යන විට පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි සුරංග ලක්මාල් කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Tino Best ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Dwayne Smith කඩුලු 2ක් ද, Ashley Nurse, Jerome Taylor සහ Lendl Simmons කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් Masters – කඩුලු 5ක් දැවී 179 (20.0) William Perkins 24, Brian Lara 41, Chadwick Walton 31, Denesh Ramdin නොදැවී 50
  • ශ්‍රී ලංකා Masters – කඩුලු 9ක් දැවී 173 (20.0) උපුල් තරංග 30, අසේල ගුණරත්න 66, ඉසුරු උදාන 21, Tino Best 4/27, Dwayne Smith 2/37

බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායමට ලකුණු 6ක ජයක්.

  • තරගයේ වීරයා – Tino Best (ශ්‍රී ලංකාව)

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් මේ මස 16 වැනිදා ඉන්දීය කණ්ඩායම සමඟින් අවසන් මහා තරගය සඳහා එක් වීමට නියමිතයි.

International Masters League ක්‍රිකට් තරගාවලියේ සජීවී දසුන් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව Thepapare හරහා දැල බලා ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි වනවා. ThePapare 1 (නාලික අංක 62) & ThePapare 1 HD (නාලිකා අංක 126) ඔස්සේ තරගය සජීවී ව නරඹන්න, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<