“මෝරා” සමඟින් “පේරා” අවසන් සටනට

692

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඊයේ (02) සමත් විය. ඒ පිළිවෙළින් කොළඹ විශ්ව විද්‍යාලය ලකුණු 17-12ක් ලෙස සහ කැලණිය විශ්ව විද්‍යාලය 19-12ක් ලෙස පරාජය කරමිනි.

“විස්විදු” ශූරතාවයේ අවසන් සතියට ප්‍රබල කණ්ඩායම් 4ක්

අන්තර් විශ්වවිද්‍යල රග්බි ශූරතා තරගාවලිය මේ වන විට අවසානය දක්වා පැමිණෙමින් තිබේ. මාසයක් …

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ කැලණිය විශ්ව විද්‍යාලය

දිනයේ ප්‍රථම අවසන් පූර්ව තරගය ලෙස පැවති මෙම තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර ප්‍රබල පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත කැළණියෙන් දැඩි අභියෝගයක් එල්ල විය.

කෙසේ නමුත් කැළණි ආරක්ෂක වළල්ල අතරින් සූක්ෂ්ම ලෙස රිංගා ගිය එන්. ජයතිලක හා එස්. රාමනායක ප්‍රථම අර්ධයේ වැඩි ගෞරවය පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත නතුකර දුන්නේය. (10-00)

පේරාදෙණිය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙත නිසා පළමු අර්ධය තුල කැලණිය කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි විය.

පළමු අර්ධය: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 10 – 00 කැලණිය විශ්ව විද්‍යාලය

ජයග්‍රහණයේ බලාපොරොත්තු සමඟින් කණ්ඩායම දෙකම දෙවැනි අර්ධය වෙත පිවිසුණු අතර දෙවන අර්ධයේ දී කැළණිය විශ්ව විද්‍යාලය උත්සාහක දිනුම් දෙකක් ලබා ගත්තේ පිළිවෙළින් චාමික දිසානායක හා බිම්සර පෙරේරාගේ උත්සාහයෙනි. එම උත්සාහක දිනුම් අතරින් එක් ප්‍රවර්තනයක් පමණක් ගයාන් ලසන්ත විසින් සාර්ථක කරගත්තේය.

ඡායාරූප ඇල්බමය – Photos: University of Peradenya vs University of Kelaniya | University Rugby 2018 | Semi Finals

නමුත් පේරාදෙණිය කණ්ඩයමේ කොඩිතුවක්කු, එස්. වීරකෝන් හා මෙවන් ඒකනායක තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලකුණු පුවරුව ඉහලට එසවිය. ඉන් ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගැනීමට ඉසුරු හේරත් සමත් විය.

ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලය පරාජය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: පේරාදෙණිය විශ්ව විද්‍යාලය 29 (5T, 2C) – 12 (2T, 1C) කැළණිය විශ්ව විද්‍යාලය

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • පේරාදෙණිය – එන්. ජයතිලක(1T), එස්. රාමනායක (1T), කොඩිතුවක්කු (1T), එස්. වීරකෝන් (1T), මෙවන් ඒකනායක (1T), ඉසුරු හේරත් (2C)
  • කැළණිය – චාමික දිසානායක(1T), බිම්සර පෙරේරා(1T), ගයාන් ලසන්ත(1C)

කොළඹ විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය

දිනයේ දෙවන තරගය ලෙස පැවති මෙම තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට මොරටු ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම මයුර රත්නසූරියගේ අලංකාර පන්දු හැසිරවීමකින් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම කොළඹ විශ්ව විද්‍යාලය වෙනුවෙන් දිනා දුන්නේය. චමුපති විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (07-00)

ජ’පුරේ ජයග්‍රහණය ගෝල කණුව අවහිර කරද්දී කොළඹට පහසු ජයක්

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (25) කොළඹ විශ්ව …

ඉන්පසු ක්‍රියාත්මක වූ මොරටුව බලඇණිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අතර සඳරු හිමංගගෙන් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා වීම කැපී පෙනිණි. මොරටුව කණ්ඩායමේ නායක සචින් නිස්සංකාරච්චි ද තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් පළමු අර්ධයේ ඉදිරිය මොරටුව දෙසට නතු කළේය. අදාළ උත්සාහක දිනුම්වලින් එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක කරගැනීමට අනුජ වීරකෝන් සමත් විය. (07-17)

පළමු අර්ධය: කොළඹ  විශ්ව විද්‍යාලය 07 – 17 මොරටුව විශ්ව විද්‍යාලය

ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් හඬ මැදින් කණ්ඩායම් දෙක පිටියට පිවිසි අතර මොරටුව විශ්ව විද්‍යාලය තම ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙත දිගින් දිගටම ක්‍රියාත්මක කළ අතර දෙපිලෙන්ම පන්දු අත හැරීම් වැඩි වශයෙන් දක්නට ලැබුණි.

ඡායාරූප ඇල්බමය – Photos : University of Moratuwa vs University of Colombo | University Rugby 2018 | Semi Finals

කෙසේ නමුත් චමත් පෙරේරා කොළඹ විශ්ව විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් කොළඹට අස්වැසිල්ලක් වන්නට විය. ධවල රේඛාව අසල දී ම ලද අලංකාර පන්දු හැසිරවීමකින් මෙම දිනුම පරිවර්තනය කළ නමුත් එය මොරටුව විශ්ව විද්‍යාලය අභිබවා යන්නට තරම් ප්‍රමාණවත් නොවීය. (12-17)

අවසානයේ මොරටුව විශ්ව විද්‍යාලය ලකුණු 5ක තියුණු ජයක් ලබමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: කොළඹ 12 (2T, 1C) – 17 (3T, 1C) මොරටුව

ලකුණු ලබා ගැනීම

  • මොරටුව – සඳරු හිමංග (2T), සචින් නිස්සංකාරච්චි (1T), අනුජ වීරකෝන් (1C)
  • කොළඹ  – මයුර රත්නසූරිය (1T), චමත් පෙරේරා (1T), චමුපති (1C)

ලබන සති අන්තයේ දී මොරටුව විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය අවසන් මහා තරගයේ දී මුණගැසීමට නියමිත අතර සුපුරුදු පරිදි තරගයේ ඡායාරූප හා තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<