Pant ගැන සුබ ආරංචියක්!

2085

මේ වන විට ආබාධවලට ලක් වී සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම දැන් නැවතත් යතා තත්වයට පැමිණෙමින් සිටින බව BCCI වෙතින් දැන ගැනීමට ලැබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පිට කොන්දේ ආබාධයකට ලක් වීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්වීමට සිදු වූ Jasprit Bumrah නැවතත් දැල් තුළ පන්දු යවමින් සිය සුපුරුදු රිද්මයට පැමිණෙමින් සිටින බව BCCI විසින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ආබාධයක් නිසා නිමා වූ IPL තරගාවලිය අහිමි වී ගිය Prasidh Krishna විසින් ද මේ වන විට සිය ආබාධයෙන් සුවය ලබමින් සිටින අතර ඔවුන් දෙදෙනා ම ඉන්දියාවේ NCA (ජාතික ක්‍රිකට් ඇකඩමිය) විසින් සංවිධානය කරන පුහුණු තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි දන ගැනීමට ලැබෙන්නේ. මෙම පුහුණු තරගවලින් අනතුරුව BCCI වෛද්‍ය කණ්ඩායම විසින් මොවුන් දෙදෙනා පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති. 

එමෙන්ම ආබාධවලට ලක් වී සිටින සුපිරි ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකු වන KL Rahul සහ Shreyas Iyer දෙදෙනා ම නැවතත් දැල් තුළ සිය පිතිකරණ පුහුණුවීම් ආරම්භ කර ඇති බවයි BCCI විසින් සඳහන් කර ඇත්තේ. ඔවුන් විසින් සිය වෛද්‍ය කණ්ඩායම් සමඟ තමන්ගේ දක්ෂතා මෙන්ම ශක්තිය ද ඉලක්ක කර ගනිමින් ශාරීරික යෝග්‍යතා වල නියැලෙමින් සිටින බවත් වාර්තා වනවා. 

මේ අතර අනපේක්ෂිත රිය අනතුරක් නිසා ක්‍රීඩාවෙන් ඈත් වීමට සිදු වූ Rishabh Pantගේ වර්තමාන සෞඛ්‍ය තත්වය පිළිබඳ ව ද BCCI විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

“ඔහු සිය පුනරුත්තාපන කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් ලබා තිබෙනවා. එමෙන්ම ඔහු දැල් තුළ සිය පිතිකරණ සහ පන්දු රැකීමේ පුහුණුවීම් ද ආරම්භ කර තිබෙනවා. ඔහු මේ වන විට සිය ශක්තිය, නම්‍යශීලී බව සහ ධාවනය වෙනුවෙන් නිර්මාණය වූ යෝග්‍යතා වැඩසටහනක් අනුගමනය කරමින් සිටිනවා.” 

මේ අනුව නුදුරේ දී ම මෙම සියලු ක්‍රීඩකයින් සමඟින් තව තවත් ශක්තිමත් වූ ඉන්දීය සංචිතයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමි වෙතැයි අපේක්ෂා කළ හැකියි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<