ගුවන් ගමන්වලට අවසර ලැබුනොත් ඉන්දියාව ශ්‍රී ලංකාවට

205
India tour of Sri Lanka

එළඹෙන ජුනි සහ ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ. ඒ කොරෝනා වසංගත තත්වය නිසාවෙනි.

>> ICCයේ තවත් ඉසව් දෙකකට කොරෝනා හරස් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කර තිබෙන ඉදිරි තරග කාලසටහනට (FTP) අනුව එම තරගාවලිය සඳහා එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුලත්ව තිබේ. 

මෙම ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින් නොමැතිව තරගාවලිය පැවැත්වීම සඳහා ඔවුන් සූදානමින් සිටින බව දන්වා තිබුණ ද, එයට ප්‍රතිචාර දක්වා තිබෙන ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා තිබෙන්නේ ඉන්දියාව තුල මේ වන විට සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබෙන නිසා ඉන්දීය රජය ගුවන් ගමන් සඳහා ඔවුන්ට අවසර ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණීමට හැකි බවයි.

එසේම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට පෙර ඔවුන් දින 14ක නිරෝධායන කාලයක් සඳහා මෙරට රැඳී සිටීම සඳහා කැමැත්ත පළ කර යුතුව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයට මේ තරගාවලිය පවත්වන්නේ නම් ඒ සඳහා ගැටලු කිහිපයක් පැන නැගෙන අතර ඒවා ඉතාමත් හොඳ අවබෝධයකින් යුතුව විසඳා ගැනීම කළ යුතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇතුළු සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ යුතු නිසාවෙනි.

ශ්‍රී ලංකා රජය විසින් පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය සහ ඉන්දීය රජය විසින් පැනවූ නගර අගුළු දැමීම නිසාවෙන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හට පසුගිය මාස දෙක පුරාවටම ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කණ්ඩායම සමඟ එක්ව සිදු කිරීමට නොහැකි වුවත්, ඔවුන් සිය නිවෙස්වලට වී සිටිමින් ඔවුන්ගේ පුහුණු කටයුතු සහ ශාරීරික යෝග්‍යතා පවත්වා ගන්නා අයුරු සමාජ මාධ්‍ය ජාලා හරහා දැකගන්නට ලැබුණි.

>> Crowd නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ – ඇන්ඩර්සන්

“මුම්බායි නගරය ඇතුළු කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වැඩි ප්‍රදේශ කිහිපයක් දැන් මාස දෙකක වගේ කාලයක් තිස්සේ සම්පූර්ණ ලෙස අගුළු දමා තිබෙන්නේ. නමුත් එහෙම නොමැති ප්‍රදේශවල තිබෙන ක්‍රීඩාංගණවල අපේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනවා.” 

“ඒ කොහොම වෙතත් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් රැසක් සිය නිවෙස්වලට වී ආරක්ෂිතව සිටිමින් සිය ශාරීරික යෝග්‍යතාවය ද රැකගනිමින් සිය පුහුණුවීම් වල නිරත වෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා වලට දාලා තිබ්බා කියලා අපි දැක්කා. නව තාක්ෂණය භාවිතා කරමින් අපේ පුහුණුකරුවන් ද online ආකාරයට අපේ ක්‍රීඩකයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඔවුන්ගේ පුහුණු කටයුතු සොයා බැලුවා” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියා පැවසීය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සතියේ දී සිය පුහුණුවීම් කටයුතු කුඩා කණ්ඩායම් කිහිපයක් ලෙස (නේවාසිකව) ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පනවනු ලැබූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව එය එළඹෙන ජුනි මාසය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. 

COVID-19’ වසංගත තත්වය ලොව පුරා පැතිර යාමත් සමඟ පසුගිය මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිසිවක් පැවැත්වීමට අවස්ථාවක් නොවූ අතර ඒ අනුව මාර්තු මාසයේ දී පැවැත්වීමට තිබූ එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරය මෙන්ම ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මෙරට සංචාරය සහ දින නියමයකින් තොරව කල් දමන්නට සිදු විය. 

කෙසේ නමුත් ඉන්දීය තරග සංචාරය සහ බංග්ලාදේශය සමඟ වන ටෙස්ට් තරගාවලිය ද පැවැත්වීමට අදාළ අවසන් තීරණය මෙම සතිය අවසන් වීමට පෙර ගැනීමට නියමිතව ඇති නමුත් එළඹෙන ජුනි සහ ජූලි මාසවල දී ඔවුන් මෙරටට පැමිණීම මේ වන විට ඇත්තේ බොහෝ දුරට අවිනිශ්චිත තත්වයකය. තවද කල්දමුණු එංගලන්ත තරගාවලිය ලබන වසරේ (2021) ජනවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව වාර්තා වේ.

>> පුහුණුවීම් අරඹන විට කෝලි සහ ශර්මා අතරමං වෙන ලකුණු

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 900කට අධික ප්‍රමාණයක් සිටින අතර සුවය ලැබූ ප්‍රමාණය 500 ඉක්මවා තිබෙන්නේ මරණ 9ක් වාර්තා වන පසුබිමකයි. ඉන්දියාව තුල කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් 100,000 ඉක්මවා ඇති අතර 3000කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයකට පත්ව ඇත.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු දේම අකර්මණ්‍ය කළ මෙම කොරෝනා වයිරසය නිසාවෙන් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන්නේ ICC ප්‍රධාන තරගාවලි දෙකක් (වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ යුරෝපා තරගාවලියේ දෙවන කාණ්ඩය සහ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය) ද සමඟිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<