චරිත් ගේ පළමු අභියෝගය

5
India Tour of Sri Lanka 2024

ඉන්දියාව සමඟින් පැවැති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලත් 3-0ක පරාජයේ විලි වසා ගැනීමට මඟක් සහ 1997 වසරෙන් පසුව ඉන්දියාවට එරෙහි ව නොලැබූ එක්දින තරගාවලි ජයග්‍රහණයකුත් සොයන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (02) පස්වරුවේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක් වීමට නියමිතයි.

ඒ අනුව ආසන්නත ම තරගාවලියේ වාඩුව ගැනීමටත් සහ වසර 27ක් තිස්සේ නොලැබූ ජයග්‍රහණයක් ලබා ගැනීමටත් ඔවුන්ට තරග 3ක් වෙන් ව තිබෙනවා.

1 වැනි එක්දින තරගය

  • අගෝස්තු 02, සවස 2.30, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

2 වැනි එක්දින තරගය

  • අගෝස්තු 04, සවස 2.30, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

3 වැනි එක්දින තරගය

  • අගෝස්තු 07, සවස 2.30, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ඉන්දියාව සමඟින් පැවැත්වෙන තරග 3කින් සමන්විත මෙම එක්දින ජාත්‍යන්තර තරගාවලිය දෙරට ඉතිහාසයේ 21 වැනි තරගාවලිය ලෙසිනුයි සටහන් වෙන්නේ. නිමා වූ එම තරගමාලා අතුරින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලැබී ඇත්තේ 1993 සහ 1997 වසර ද්විත්වයේ පමණක් වන අතර තවත් තරගාවලි ත්‍රිත්වයක් විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා. ඊට අමතර ව ලැයිස්තු ගත වූ අනෙක් අවස්ථා 15 ම ජයග්‍රහණයන් සතු කර ගන්නේ ඉන්දියාවයි.

මේ තරගමාලා අතුරින් දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 168ක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් අවස්ථා 99ක දී ඉන්දියාව ද සහ අවස්ථා 57ක දී ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබෙනවා. තරග සම වීමෙන් අවසන් වූ තරගයක් සහ විසඳුමකින් තොරව නිමා වූ තරග 11ක් ද එම ඉතිහාසයට අයත්.

කෙසේ වෙතත් මෙම තරගයට ශ්‍රී ලංකාව එක් වෙන්නේ මේ වසරේ එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභී ලැයිස්තුවේ ඉහළ ම අසුන් 4 වෙන්කර ගත් සිව් දෙනා ද සමඟින් විම විශේෂත්වයක්.

එම ලැයිස්තුවේ තරග 6ක දී ලකුණු 497ක් ලබා සිටින පැතුම් නිස්සංක 1 වැනි ස්ථානයේත්, තරග 9ක දී ලකුණු 358ක් ලබා සිටින චරිත් අසලංක 2 වැනි ස්ථානයේත්, තරග 9ක දී ලකුණු 350ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් 3 වැනි ස්ථානයේත් සහ තරග 9ක දී ලකුණු 346ක් ලබා ගත් ජනිත් ලියනගේ 4 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා.

මේ අතුරින් පැතුම් නිස්සංකගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 99.40ක් ලෙසින් වීම විශේෂත්වයක්. එමෙන් ම මේ වෙද්දී මේ වසරේ වැඩිම ශතකලාභියා ලෙසින් ද පැතුම් ගේ දක්ෂතා ඉහළ මට්ටමේ රැඳී තිබෙනවා. ඔහු ද්විත්ව ශතකයක් සහ තවත් ශතක 2ක් මේ වසරේ මේ දක්වා ලබා ගෙන තිබෙනවා.

එමෙන් ම මෙම තරගාවලිය හා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමාන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරු ලැයිස්තුවේ පළමු 10 අතර සිටින පැතුම් නිස්සංක ද සහ පළමු 20 දෙනා අතර සිටින චරිත් අසලංක මෙන් ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ සිටින මහීෂ් තීක්ෂණ ද සිටිනවා.

අප ඒ ලෙසින් මෙම තරගාවලියට එක් වෙද්දී ප්‍රතිවාදී ඉන්දියාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් අතර පළමු ස්ථානයේ රැදී සිටිමිනුයි.

එමෙන් ම ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් ලෝක ශ්‍රේණිගත කිරීම් හී ලැයිස්තු ගත වීමේ දී පළමු 10 දෙනා අතර Shubman Gill, Virat Kohli සහ Rohit Sharma රැඳී සිටින අතර පන්දු යවන්නන් අතුරින් පළමු 10 අතරට Mohammed Siraj සහ Kuldeep Yadav රැඳී සිටිනවා. එබැවින් මෙම තරගාවලිය ලෙහෙසියෙන් තැකීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිසේත් ම ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඉන්දීය ක්‍රීඩකයන් අතුරින් එක්දින ජාත්‍යන්තර ලකුණු 13848ක් ලබා සිටින Virat Kohli සහ ලකුණු 10709ක් ලබා සිටින ඉන්දීය නායක Rohit Sharma මෙරට ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙසින් තරගාවලියට එක් වෙන්නේ මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතුරින් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී ලැයිස්තුවේ පළමු 25 දෙනා අතරට සිටිමින් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම

මෙම තරගාවලිය නව නායක චරිත් අසලංකගේ මංගල එක්දින තරගාවලියයි. ඒ අනුව චරිත්, මෙරට ඉතිහාසයේ 27 වැනි එක්දින නායකයා ලෙසින් අද තරගයේ දී කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසීමට නියමිතයි.

නමුත් ඔහුට මෙම තරගාවලියට එක් වෙන්නට සිදු වෙන්නේ එතරම් ම නිරවුල් මනසකින් නම් නොවේ. ඒ පෙර පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී ලත් පරාජයේ අමිහිරි මතකයන් සේ ම ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටි ප්‍රධානත ම පන්දු යවන්නන් දෙදෙනා ද අහිමි කර ගනිමින් වීම නිසයි.

විවිධ ආබාධ හේතුවෙන් ඩිල්ශාන් මධුශංක සහ මතීෂ පතිරණ මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙන අතර ඒ වෙනුවට මෙතෙක් එක්දින වරම් හිමි නොවූ මොහොමඩ් ශිරාස් සහ ඒශාන් මාලිංග කණ්ඩායමට නම් කර තිබෙනවා.

එමෙන් ම නම් කරන ලද කණ්ඩායමට අමතර ව කුසල් පෙරේරා, ප්‍රමෝද් මධුශාන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන අය අතිරේක ක්‍රීඩකයන් ලෙසින් නම් කිරීමට ද ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 7 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වෙන්නේ මෑත කාලීන ක්‍රිකට් පිටියේ අවමානයට පත් කණ්ඩායමක් ලෙසින් සහ ඒ හේතුවෙන් ම ශ්‍රී ලංකා ප්‍රේක්ෂක ප්‍රතිවාර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් දුරස් ව තිබෙන පසුබිමකයි. එබැවින් එහි අවාසියත් සමඟිනුත් ක්‍රීඩා කිරීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

කෙසේ වෙතත් මෙරට ක්‍රීඩකයන්ගේ මෑත කාලීන එක්දින තරග ඉතිහාසය නම් එතරම් ම නරක තත්ත්වයේ පෙනෙන්නට නැහැ. ඔවුන් මේ වසරේ මෙතෙක් නිමා වූ තරග 9ක දී තරග 6ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 2ක දී පරාජයන් ද සහ එක් තරගයක් විසඳුමකින් තොරව ද නිමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාත්න, අසිත ප්‍රනාන්දු, නිශාන් මධුශ්ක (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, අකිල ධනංජය, මොහොමඩ් ශිරාස්, ඒශාන් මාලිංග.

ඉන්දීය කණ්ඩායම

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලින් සමුගත් Rohit Sharma, Virat Kohli සහ Kuldeep Yadav එම සමුගැනීම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එක් වෙන පළමු තරගාවලිය මෙයයි.

අද තරගයේ දී Rohit Sharma, නායකත්වයේ කෝඩුකාර චරිත් අසලංක සමඟින් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසෙන්නේ 46 වැනි වතාවටයි. මෙතෙක් නිමා වූ තරග 45න් තරග 34ක් ම ජයගත් තරග ලෙසින් නිමා කිරීමට ඔහු සමත් ව ඇති අතර තරග 10ක් පරාජිත තරග ලෙසත් සහ අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසයි නිමා කර තිබෙන්නේ.

වඩාත් පළපුරුදු සහ දක්ෂතාවලින් පිරිපුන් ඉන්දීය කණ්ඩායමේ මේ වසරේ පළමු එක්දින තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි. ඔවුන් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකාව සමඟිනුයි.

මාස 8කට පසුව ඇරඹෙන ඔවුන්ගේ එක්දින තරගාවලියට ඉන්දියාව වෙනුවෙන් මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් හිමි නොවු 22 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Harshit Rana කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා.

ඉන්දීය සංචිතය

Rohit Sharma (නායක), Shreyas Iyer, Virat Kohli, Rishabh Pant (කඩුලු රකින්නා), Riyan Parag, KL Rahul (කඩුලු රකින්නා), Shubman Gill, Shivam Dube, Axar Patel, Washington Sundar, Khaleel Ahmed, Arshdeep Singh, Harshit Rana, Kuldeep Yadav, Mohammed Siraj.

මෙම තරගාවලියේ දී සිදු විය හැකි සුවිශේෂී සිදුවීම්

ඉන්දියාව: ශ්‍රී ලංකාවට එරෙහි ව ශතක සම්පූර්ණ එක්දින ජාත්‍යන්තර තරග සැමරුමට අවශ්‍ය තවත් තරගයක ජයග්‍රහණයක් පමණයි.

චරිත් අසලංක: එක්දින ජාත්‍යන්තර ලකුණු 2000ක් සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් අවශ්‍ය ලකුණු 82ක් පමණයි.

කුසල් මෙන්ඩිස්: එක්දින ජාත්‍යන්තර ලකුණු 4000ක් සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් අවශ්‍ය ලකුණු 141ක් පමණයි.

වනිඳු හසරංග: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් අවශ්‍ය ලකුණු 105ක් පමණයි.

Rishabh Pant: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් අවශ්‍ය ලකුණු 135ක් පමණයි.

KL Rahul: එක්දින ජාත්‍යන්තර ලකුණු 3000ක් සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් අවශ්‍ය ලකුණු 180ක් පමණයි.

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<