යළි පිබිඳුණ ක්‍රිකට් වසන්තය

India Tour of Sri Lanka 2024

30

කිසිඳු ක්‍රීඩාවක සදාතනික ජයග්‍රාහකයන් නොමැති බැව් ප්‍රබල ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට පසක් කිරීමට කෝඩුකාර චරිත් අසලංක ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා. මෙම ඉගැන්වීම සිදු කරන්නේ වසර 27ක් පුරා ඉන්දීය ක්‍රීඩකයෝ සතුව තිබූ ආදිපත්‍ය ද බිඳ දමමින් වීමයි විශේෂත්වය.  

ඉන්දීය ක්‍රීඩකයෝ  මෙම තරගාවලියට එක් වෙන විට නායක Rohit Sharma තරග 45ක දී ඉන්දීය කබාය පැළඳ සිටි අතර එය චරිත් අසලංක ගේ පළමු අත්දැකීම වූවා. එමෙන් ම ඉන්දීය එක්දින තරග ඉතිහාසයේ සාර්ථක ම නායකයා ලෙසින් ද Rohit Sharma ට තිබුණේ නොමඳ පිළිගැනීමක්. ඔහුගේ මෙම අසාර්ථක තරග සංචාරය නිමා වෙන විට ද නායකත්වයේ ජයග්‍රාහී තරග ප්‍රතිශතය 70.83%ක්.  

එම ආඩම්බරයත්, වර්ථමාන එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක එක හිමි කණ්ඩායම ලෙසත් සහ එක්දින ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් හී පළමු 10 දෙනා අතර ට එක් ව සිටින පිතිකරුවන් තිදෙනෙක් සහ පන්දු යවන්නන් දෙදෙනෙක් ද සමඟින් මෙරට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ඒ සියලු ප්‍රතිරූප බිඳ වැටෙන්නට ගත වූයේ දින 6කින් යුත් තරග 3ක් පමණයි.  

1 වැනි තරගය  

oකාසියේ වාසිය – ශ්‍රී ලංකාව 

ශ්‍රී ලංකාව – 230/8 (50.0) දුනිත් වෙල්ලාලගේ නොදැවී 67, පැතුම් නිස්සංක 56, Axar Patel 2/33, Arshdeep Singh 2/47

ඉන්දියාව – 230/10 (47.5) Rohit Sharma 58, Axar Patel 33, චරිත් අසලංක 3/30, වනිඳු හසරංග 3/58, දුනිත් වෙල්ලාලගේ 2/39

තරගය ලකුණු සමයි. 

තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ 

2 වැනි තරගය 

o කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව – 240/9 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 40, කමිඳු මෙන්ඩිස් 40, Washington Sundar 3/30, Kuldeep Yadav 2/33

ඉන්දියාව – 208/10 (42.2) Rohit Sharma 64, Axar Patel 44, ජෙෆ්රි වැන්ඩර්සේ 6/33, චරිත් අසලංක 3/20

ශ්‍රී ලංකාවට ලකුණු 32ක ජයක්. 

තරගයේ වීරයා – ජෙෆ්රි වැන්ඩර්සේ

3 වැනි තරගය 

o කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව – 248/7 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 96, කුසල් මෙන්ඩිස් 59, පැතුම් නිස්සංක 45, Riyan Parag 3/54

ඉන්දියාව – 138/10 (26.1) Rohit Sharma 35, Washington Sundar 30, දුනිත් වෙල්ලාලගේ 5/27, ජෙෆ්රි වැන්ඩර්සේ 2/34

ශ්‍රී ලංකාවට ලකුණු 110ක ජයක්. 

තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු

තරගාවලියේ වීරයා –දුනිත් වෙල්ලාලගේ

දෙරට අතර තරගාවලිය ආරම්භ වීමට පෙර ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 7 වැනි ස්ථානයේ සිටිමින් මෙම තරගාවලිය හා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රේක්ෂක ප්‍රතිචාර ද අහිමි ව තිබුණා.  

එහෙත් ඒ සියලු දේ ඇසුරු සැනකින් බිඳ වැටෙන්නට වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිබිදීමත් සමඟිනුයි. එය වඩාත් තීව්‍ර වන්නේ පළමු තරගයේ අවසානය නළලත රැළි ගන්වන අවසානයක් කරා ගෙන යෑමට සමත් වීමත් සමඟිනුයි.  

ලකුණු සම වීමෙන් අවසන් වූ එම තරගයෙන් පසුව පැවැති අනෙක් තරග 2 ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත ක්‍රිකට් වසන්තය මෙබිමේ රෝපණය කිරීමට සමත් වූවා. එය නිකම් ම නිකං කණ්ඩායමකට එරෙහි ව ලත් ජයග්‍රහණයක් ලෙසින් නොව ලෝක ක්‍රිකට් පිටියේ ඔස්තාර්ලාට එරෙහි ව ලත් ජයග්‍රහණයක් කර ගනිමින් වීමයි විශේෂත්වය.  

එහෙත් ඒ විශේෂත්වය අපට ම පමණකි. ඒ බැව් පසක් වෙන්නේ මෙම තරගාවලියේ පශ්චාත් දේශනවල අං-කොං ද විමසීමේ දී යි. ඇතැම් තැනක දෙතැනක සේ ම ඉන්දීය බහුතරයකක් වූ විචාරකයන්ගේ ද අදහස වූයේ ශ්‍රී ලංකාව ලත් මේ ජයග්‍රහණය තෙවැනි පංතියේ ජයග්‍රහණයක් සේ ය. එය වඩාත් විශ්වාස ගැන්වීමට ඔවුන් පවසන්නේ, ශ්‍රී ලංකාවට ඉදිරි තරගයක් ජය ගැනීමට නම් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙනත් රටවලට ද ගෙන යෑමට සිදු වෙන බවකුයි. ඔවුන් එසේ පැවසීමට වඩාත් හේතු පාදක කර ගන්නේ දඟ පන්දු යවන්නන්ගේ වික්‍රමයයි. 

එය මෙරට පන්දු යවන්නන්ගෙන් පමණක් නොව ඉන්දීය දඟ පන්දු යවන්නන්ගෙන් ද අප දුටු දේ කි. මෙම තරග ත්‍රිත්වයේ දී මෙරට දඟ පන්දු යවන්නෝ කඩුලු 27ක් දවා ගනිද්දී ඉන්දීය දඟ පන්දු යවන්නෝ ද කඩුලු 16ක් දවා ගන්නවා. නමුත් ඔවුන් ඒ බැව් තකන්නේ නැහැ.   

ඒ මඟින් ඔවුන් ගම්‍ය කිරීමට තකන්නේ ඉන්දීය කණ්ඩායම පරාජය විය යුතු කණ්ඩායමක් නොවන බව ද? පරාජය විය යුත්තේ අප ම පමණක් බව ද? 

චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මේ පරාජය කරන්නේ කඩුලු- ලකුණු තරගාවලියක් පමණක් නොවේ, මේ වැනි කතාවලින් සපිරි උද්දච්ඡ මානසිකත්වයෙන් යුත් වටපිටාවක් ද එකතුව සැඳූණු ක්‍රිකට් මාෆියාවකුයි.  

එබැවින් චරිත් අසලංක ඇතුලු මේ නඩයට මේ ජයග්‍රාහී මානසිකත්වය එලෙසින් ම පවත්වාගෙන යෑමට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙතින් කෙරෙන බලපෑම් වැලැක්විය නොහැකියි. එය තරගයක දී එලෙසින් ම කළ නොහැකි වූවත් මේ තරගකාරීත්වය මේ ලෙසින් ම ඉදිරියටත් පවත්වාගෙන යන්නේ නම් මේ එළැඹි ක්‍රිකට් වසන්තය තව කාලයකට ආ-පිට හැරවිය නොහැකියි.  

චරිත්ලා මේ ජයගග්‍රහණයත් සමඟ අවතීර්ණ විය යුත්තේ එම මාර්ගයටයි.  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එතෙක් මෙතෙක් පැවැති තරගාවලියන් නිමා වූ ආකාරය 

  Home  Winner  Mat  Won   Lost   Tied  N/R  Year 
1  ඉන්දියාව  ඉන්දියාව  3  3  0  0  0  1982 
2  ශ්‍රී ලංකාව   විසඳුමක් නෑ  3  1  1  0  1  1985 
3  ඉන්දියාව   ඉන්දියාව  5  4  1  0  0  1986 
4  ඉන්දියාව  ඉන්දියාව  3  2  1  0  0  1990 
5  ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකාව  3  2  1  0  0  1993 
6  ඉන්දියාව  ඉන්දියාව  3  2  1  0  0  1994 
7  ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකාව  4  3  0  0  1  1997 
8  ඉන්දියාව  විසඳුමක් නෑ  3  1  1  0  1  1997 
9  ඉන්දියාව  ඉන්දියාව  7  6  1  0  0  2005 
10  ශ්‍රී ලංකාව  විසඳුමක් නෑ  1  0  0  0  1  2006 
11  ඉන්දියාව  ඉන්දියාව  4  2  1  0  1  2007 
12  ශ්‍රී ලංකාව  ඉන්දියාව  5  3  2  0  0  2008 
13  ශ්‍රී ලංකාව   ඉන්දියාව   5  4  1  0  0  2009 
14  ඉන්දියාව  ඉන්දියාව  5  3  1  0  0  2009 
15  ශ්‍රී ලංකාව  ඉන්දියාව  5  4  1  0  0  2012 
16  ඉන්දියාව  ඉන්දියාව  5  5  0  0  0  2014 
17  ශ්‍රී ලංකාව  ඉන්දියාව  5  5  0  0  0  2017 
18  ඉන්දියාව  ඉන්දියාව  3  2  1  0  0  2017 
19  ශ්‍රී ලංකාව  ඉන්දියාව  3  2  1  0  0  2021 
20  ඉන්දියාව  ඉන්දියාව  3  3  0  0  0  2023 
21  ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාව   3  2  0  1  0  2024 

 

1982 වසරේ දී ඇරඹි ඉන්දු – ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලත් තෙවැනි තරගාවලි ජයග්‍රහණය මෙයයි. ඔවුන් පළමු වරට ඉන්දියාවට එරෙහි ව ජයග්‍රහණයක් ලබා ගන්නේ 1993 වසරේ දී ඉන්දීය කණ්ඩායම මෙරට පැමිණි අවස්ථාවේ දී වන අතර එහි දී තරග 3කින් යුත් තරගාවලිය 2-1ක ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා.   

ඔවුන් නැවත 1997 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එරට කළ සංචාරයේ දී පැවැති තරග  4කින් යුත් තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වූවා.  

ඉන් අනතුරු ව මේ වසර දක්වා ම ඔවුන් ට ඉන්දීය තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. එලෙස ජයග්‍රහණයක් නොලැබී ගෙවී ගිය වසර ප්‍රමාණය 27ක් වන අතර නිමා වූ තරගාවලි ප්‍රමාණය 13ක්.  

එමෙන් ම මෙම කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහි ව මෙම ජයග්‍රහණය ලබා ගන්නේ පිට පිට තරගාවලි 10ක පරාජයන්ට පසුව වීම ද විශේෂත්වයක්. තවත් අතකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණයට පෙර සහභාගී තරගාවලි 13ක දී ජයග්‍රහණයක් ලබා තිබුණේ නැත්තේ එම තරග පෙළ ගැස්මේ දී පරාජිත තරගාවලි 11 ට අමතර ව නොවිසඳුණ තරගාවලි 2ක් ඇතුලත් වීම නිසයි. 

තරගාවලියත් සමඟින් ක්‍රිකට් කරලියට එක් වූ සුවිශේෂී සිදුවීම් 

13: ඉන්දියාව මෙම තරගාවලිය දක්වා ශ්‍රී ලංකාව හා සමඟින් නිමා කළ තරගාවලි 13 දී අපරාජිත ව සිටිමින් ලෝක එක්දින තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහි ව අපරාජිතව සිටි කණ්ඩායම් අතුරින් 2 වැනි වරටත් සම දක්ෂතා දැක් වීමට සමත් වෙමින් එහි 2 වැනි අසුන තව දුරටත් තමන් සතු කර ගත්තා. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව 1983 – 2023 තරග කාලයේ දී අපරාජිතව නිමා කළ තරගාවලි 13ත් සමඟිනුයි.  

මෙම වාර්තාවේ පළමු අසුනේ රැඳී සිටින්නේ පාකිස්තානයයි. ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව 1993 – 2020 තරග කාලය තුළ ඔවුන් සමඟින් එක් වූ තරගාවලි 14 දී අපරාජිත බව සුරක්ෂා කර ගෙන තිබෙනවා. 

27: මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ විසින් කඩුලු 27ක් බිඳ හෙළන ලද අතර එය ලෝක එක්දින තරග ඉතිහාසයේ තරගාවලියක දී දඟ පන්දු යවන්නන් විසින් බිඳ හෙළන ලද වැඩිම කඩුලු සංඛ්‍යාව බවට ද පත් වුනා.  

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ බංග්ලාදේශයටයි. ඔවුන් 2010 වසරේ දී නවසීලන්තයට මෙන් ම සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහි ව කඩුලු 26ක් බැගින් දවා ගනිමින් එහි පළමු ස්ථානයේ රැඳී සිටියා. නමුත් ඔවුන් මෙම දක්ෂතාව සිදු කර තිබුණේ තරග 4කින් යුත් තරගාවලියන්වලදීයි.  

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලියක දී දඟ පන්දු යවන්නන් පෑ ඉහළ ම දක්ෂතාවේ වාර්තාව ද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සතු කර ගන්නවා.  

තරග 3කින් තරගාවලියක දී දඟ පන්දු යවන්නන් විසින් දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව එතෙක් හිමි ව තිබුණේ පාකිස්තානය සහ හොංකොං කණ්ඩායම් වෙතයි. පාකිස්තානය 2011 වසරේ දී  බංග්ලාදේශයට එරෙහි ව ද සහ හොංකොං කණ්ඩායම 2016 වසරේ දී පැපුවානිව්ගිනියාවට එරෙහි ව ද කඩුලු 21ක් බැගින් දවා ගනිමින් එහි රැඳී සිටියා.  

43: මෙම තරගාවලියේ දී දෙරට දඟ පන්දු යවන්නෝ එක් ව කඩුලු 43ක් දවා ගන්නා ලද අතර එය එතෙක් මෙතෙක් ලෝක එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ තරගාවලියක දී දඟ පන්දු යවන්නන් විසින් ලබා ගන්නා ලද වැඩිම කඩුලු ප්‍රමාණය බවට පත් වූවා.  

එතෙක් එහි පළමු ස්ථානයේ රැඳි තිබුණේ 2011 වසරේ දී බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති තරගාවලියේ දී ලබා ගත් කඩුලු 36 යි.  

1: මෙම තරගාවලියේ නිමා වූ තරග ත්‍රිත්වයේ දී ඉන්දීය කණ්ඩායම තමන් ක්‍රීඩා කළ සෑම ඉනිමක දී ම සියලුම දෙනා දැවී යන අතර එවන් අවස්ථාවක් ඉන්දීය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.   

5: ඉන්දීය කණ්ඩායමකට එරෙහි ව දඟ පන්දු යවන්නෙක් විසින් කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් අවස්ථා 2ක දී ලබා ගත් ලෝක එක්දින ඉතිහාසයේ පළමු පන්දු යවන්නා බවට පත් වීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුනා.  

ඔහු අවසන් එක්දින තරගයේ දී කඩුලු 5ක් දවා ගත් අතර ඊට පෙර 2023 සැප්තැම්බර් මාසයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ දී ම ලකුණු 40කට කඩුලු 5ක් දවා ගනිමින් එම දක්ෂතාව කර තිබුණා.  

5/27: අවසන් එක්දින තරගයේ දී දුනිත් වෙල්ලාලගේ වාර්තා කරන ලද දක්ෂතාව ඔහුගේ 24ක් වන එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.  

6/33: මෙම තරගාවලියේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දියාවට එරෙහි ව පැවැති 2 වැනි තරගයේ දී ලකුණු 33කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර එය වැන්ඩර්සේ ගේ එක්දින ජාත්‍යන්තර තරග 24ක හොඳම පන්දු යැවිම බවට ද පත් වුනා.  

8: මෙම තරගාවලියත් සමඟින් මෙරට දී ආසන්නත ම එක්දින තරගාවලි නිමා වීම් 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණෙනවා. ඔවුන් 2021 වසරේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ 3-1ක ලත් පරාජයෙන් පසුව දකුණු අප්‍රිකාව (1), සිම්බාබවේ (2), ඔස්ට්‍රේලියාව (1), ඇෆ්ගනස්තානය (3) සහ ඉන්දියාව (1) ට එරෙහි ව ජයග්‍රහණය ලබා තිබෙනවා.    

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<