Rohit – Kohli යුගලය සමඟින් ඉන්දියාව ශ්‍රී ලංකාවට

India Tour of Sri Lanka 2024

1
India Tour of Sri Lanka 2024

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ඉන්දියාව විසින් විස්සයි විස්ස සහ එක්දින සංචිත දෙකක් නම් කර තිබෙනවා.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය එක්දින සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Rohit Sharma හට හිමි වී ඇති අතර, ඔහුගේ ප්‍රධානතම තුරුම්පුව ලෙස Virat Kohli ද සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමු දුන් Rohit සහ Kohli දෙදෙනා ශ්‍රී ලංකා සංචාරයට සහභාගී නොවනු ඇති බව මීට පෙර ආරංචි වුනත්, පසුව එම තීරණ වෙනස් වී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සමඟම විස්සයි විස්ස පිටියට සමු දුන් Ravindra Jadeja මෙම එක්දින සංචිතයට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයක්. එමෙන්ම තවත් ඉන්දීය ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන Hardik Pandya හට ද එක්දින සංචිතයේ ඉඩ වෙන් නොවී තිබීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. මේ නිසාම ඉන්දීය එක්දින සංචිතයේ තුන් ඉරියව් වගකීමේ වැඩි බරක් Shivam Dube වෙත පැටවී ඇති අතර, මෙම වසරේ ඉන්දීය වාර්ෂික කොන්ත්‍රාත්තුව අහිමි වූ Shreyas Iyer ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම දේශීය තරග බිමේ විශේෂ දක්ෂතා දැක්වූ Riyan Parag ද එක්දින සංචිතයට ඇතුළත් කර ඇති නමුත් ඔවුන්ගේ ප්‍රබලතම වේගපන්දු තුරුම්පුව වන Jasprit Bumrah මෙම සංචිත ද්විත්වයෙන්ම නිදහස් කර තිබීම විශේෂත්වයක්.

ඉන්දීය එක්දින සංචිතය

Rohit Sharma (නායක), Ꮪhubman Gill (උපනායක), Virat Kohli, KL Rahul (wk), Rishabh Pant (wk), Shreyas Iyer, Shivam Dube, Kuldeep Yadav, Mohammed Siraj, Washington Sundar, Arshdeep Singh, Riyan Parag, Axar Patel, Khaleel Ahmed, Harshit Rana

මේ අතර ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සංචිතයේ නායකත්වය Suryakumar Yadav වෙත හිමි වී ඇති අතර, මෙම සංචිත දෙකේ ම උපනායකත්වය Shubman Gill වෙත හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින සංචිතයේ ඉඩ විවර වූ Kuldeep Yadav හට විස්සයි විස්ස සංචිතයේ දොර විවර නොවීම විශේෂත්වයක්. එම නිසා විස්සයි විස්ස දඟපන්දු යැවීමේ බර Ravi Bishnoi සහ Axar Patel වෙත හිමි වනු ඇති.

කෙසේ වෙතත් මෙම සංචිත ද්විත්වයටම අත්දැකීම් බහුල ඉන්දීය ක්‍රීඩක Yuzvendra Chahalගේ නම ඇතුළත් නොවීමත් විශේෂත්වයක්.

එක්දින සංචිතයේ කඩුලු රකින්නන් ලෙස ආබාධවලින් පීඩා විඳිමින් සිටි Rishabh Pant සහ KL Rahul දෙදෙනා ව කැඳවා ඇති අතර, විස්සයි විස්ස සංචිතයේ දී KL Rahul වෙනුවට Sanju Samsonව කැඳවා තිබෙනවා.

ඉන්දීය විස්සයි විස්ස සංචිතය

Suryakumar Yadav (නායක), Ꮪhubman Gill (උපනායක), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (wk), Sanju Samson (wk), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohammed Siraj

දෙරට අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය එළඹෙන 27 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර අගෝස්තු මස 07 වැනි දා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<