50s විනිසුරු මඩුල්ලට අපෙන් 5ක්

IMC Over 50s World Cup

24
IMC Over 50s World Cup

හෙට (9) සිට මෙරට දී ආරම්භ වන වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ලට මෙරට විනිසුරුවෝ 5 දෙනෙක් ඇතුලත් කර තිබෙනවා.

නම් කර ඇති විනිසුරු මඩුල්ල 16 දෙනෙක්ගෙන් සමන්විත අතර ඒ අතරට එක් ව ඇති ශ්‍රී ලාංකීය ක්‍රිකට් විනිසුරුවන් වෙත පැවැරුම් ලැබී ඇත්තේ Professional Cricket Umpires සංගමය වෙතයි.

එම සංගමය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවන් ලෙසින් කටයුතු කළ අසෝක ද සිල්වා සහ රැන්මෝ මාටිනස් ද මෙම සංචිතයට ඇතුලත් ව ඇති අතර දේශීය තරග පිටියේ පළමු පෙළ විනිසුරුවන් ලෙසින් කටයුතු කළ සුසන්ත දිසානායක සහ ජේ. ආර්. විශ්වකුල ද ඊට එක් ව සිටිනවා.

ඊට අමතර ව ජාත්‍යන්තර තරග පිටියේ පළමු අත්දැකීම විඳ ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රියාන් හේවාවසම් ද මෙම සංචිතයට එක් ව සිටිනවා.

තරගාවලිය සඳහා එක් වෙන විනිසුරු මඩුල්ලට නවසීලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 9කට සහභාගී වී ඇති Peter Williams ද ඇතුලත්.

තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා විනිසුරුවන්

අසෝක ද සිල්වා

මෙරට මෙන් ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද අත්දැකීම්වලින් සපිරි අසෝක ද සිල්වා මෙම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨත ම ක්‍රිකට් විනිසුරුවරයායි. ටෙස්ට් තරග 49ක, එක්දින ජාත්‍යන්තර තරග 122ක සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19ක පිටියේ ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කර ඇති ඔහු රූපවාහිනී විනිසුරුවෙක් ලෙසින් ද ජාත්‍යන්තර තරග 37ක දී තම සේවය ලබා දී තිබෙනවා.

මෙම තරග අතර 2003, 2007 සහ 2011 වසරවල ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවන් හී තරග ද ඇතුලත්.

දක්ෂ පා දඟ පන්දු යවන්නෙක් ද වන අසෝක ද සිල්වා 1985 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළා. එම කාලයේ දී ඔහු ටෙස්ට් තරග 10කට සහ එක්දින ජාත්‍යන්තර තරග 28කට සහභාගී වෙමින් දක්ෂතා දක්වා තිබෙනවා.

පළමු පෙළ තරග 84ක ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ ලකුණු 1900ක් සහ කඩුලු 186ක් ලෙසයි.

මෙම තරගාවලියේ මෙරට නිල ක්‍රිකට් විනිසුරු පැවැරුම් ලබා ඇති Professional Cricket Umpires සංගමයේ නිර්මාතෘ මෙන් ම සභාපතිවරයා ද වන්නේ අසෝක ද සිල්වා යි.

රැන්මෝ මාටිනස්

2016 වසරේ දේශීය තරග පිටියේ හොඳම ක්‍රිකට් විනිසුරු සම්මානයෙන් පිදුම් ලැබූ රැන්මෝ මාටිනස් ජාත්‍යන්තර තරග පිටියේ ද අවධානයට ලක් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විනිසුරුවරයෙක්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විනිසුරු සංචිතය නියෝජනය කරමින් ටෙස්ට් තරග 8ක්, එක්දින ජාත්‍යන්තර තරග 46ක්, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 29ක් සහ කාන්තා එක්දින ජාත්‍යන්තර සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 35කට ද රැන්මෝ මාටිනස් ගේ දායකත්වය හිමි ව තිබෙනවා.

එම තරග අතරට එක්දින ලෝක කුසලාන, විස්සයි විස්ස ලෝක කුසලාන මෙන් ම වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගමාලා කිහිපයක් ද ඇතුලත්. ඊට අමතර ව බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියන් මෙන් T10 තරගාවලියන්වලදී ද ඔහු කඩුල්ල පිටුපස සිට ගනිමින් ගෞරවනීය සේවයක් සලසා තිබෙනවා.

SSC, මීගමුව සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම් නියෝජනය කරමින් මෙරට පළමු තරග පිටියේ ද දක්ෂතා දැක් වූ රැන්මෝ මාටිනස්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් ද නියෝජනය කර ඇති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

Professional Cricket Umpires සංගමයේ ආරම්භක ලේකම්වරයා ව සිටියේ ද රැන්මෝ මාටිනස්.

ජේ. ආර්. විශ්වකුල

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් රාජ්‍ය සේවා ක්‍රිකට් තරග මාලාවන්වලට සහභාගී වෙන ජේ. ආර්. විශ්වකුල ගේ ක්‍රිකට් විනිසුරු දිවියේ මේ ගෙවන්නේ සිව් වැනි දශකයයි. මෙම කාලය තුළ ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියන්වල දී සේ ම එම වයස් කාණ්ඩ තරගවල සිව් දින නිල නොලත් තරග සඳහා ද සහභාගී වී තිබෙනවා.

සුසන්ත දිසානායක

කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 2ක දී සහ පළමු පෙළ තරග 29ක දී ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කර ඇති සුසන්ත දිසානායක හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් ද හැඳින් විය හැකියි.

මූවර්ස් ක්‍රීඩා සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කර ඇති සුසන්ත දිසානයක ක්‍රීඩා කර ඇති පළමු පෙළ තරග සංඛ්‍යාව 12ක් වන අතර  ඔහු මෙම සංචිතයේ සිටින ලාබාලත ම ක්‍රිකට් විනිසුරුවරයායි.

ශ්‍රියාන් හේවාවසම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර් ශ්‍රියාන් හේවාවසම් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරගවලට සහභාගී වී ඇති ක්‍රීඩකයෙක්.

එමෙන් ම ඉන්දියානු නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධාන ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙසින් කටයුතු කර ඇති ඔහු Professional Cricket Umpires සංගමයේ හිටපු ලේකම් සහ වර්ථමානයේ එම සංගමයේ උප සභාපතිවරයා ලෙසින් ද කටයුතු කරනවා.

තරගාවලියට එක් වෙන විදෙස් විනිසුරුවෝ –

 

Saravana (ඇමෙරිකාව), Peter Williams (නවසීලන්තය), John Holland (එංගලන්තය), Shanthi (කැනඩාව), Peter Tate (ඕස්ට්‍රේලියාව) Martin Wale (බටහිර ඉන්දීය කොදෙව්), Darryl O’Sullivan (ඕස්ට්‍රේලියාව), Suresh Budhoo (කැනඩාව), Bob Szpadt (වේල්සය), Chris Johnson (එංගලන්තය), Jeff Charlesworth (ඕස්ට්‍රේලියාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<