IMC Over 50s World Cup
වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට පාකිස්තාන කණ්ඩායම අද (22) සමත් වුනා.
තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි ප්‍රතිවාදීන් බවට පත් ව සිටියේ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 233ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ ඉනිම අවසන් වීමට තවත් පන්දු 5ක් සහ කඩුලු 6ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කළා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් කණ්ඩායම
ශේන් ප්‍රනාන්දු (නායක), සමන් ජයන්ත, Rory Ingram (කඩුලු රකින්නා), රුවින් පීරස්, ඉන්දික ද සේරම්, උපුල් චන්දන, සුවන්ජි මදනායක, පුඤ්ඤකාන්ත අබේගුණසේකර, චමින්ද රාජපක්ෂ, Dillon Fernandez, පූජිත උඩුවන.
පාකිස්තාන වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් කණ්ඩායම
Mohsin Qarshi (නායක), Azher Khan (කඩුලු රකින්නා), Asif Hamayun, Muhammad Shahid, Sheikh Iqbal, Mohammed Hafeez, Mohammed Jawed, Naeem Tayyab, Mohammed Jaffar, Rehan Rauf, Imtiaz Ahmed, Ishtiaq Khan.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සමන් ජයන්ත සහ Rory Ingram පාකිස්තාන පන්දු යවන්නන් පීඩනයට පත් කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 88ක සබඳතාවක් එක් කළා. ඔවුන් දෙදෙනාගේ ඉනිම පන්දු 96කට සීමා වෙද්දී පළමු කඩුල්ල ලෙසින් Rory Ingram පිටියෙන් ඉවත් වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 27 වැනි පන්දුවේ දී සමන් ජයන්තගේ ඉනිම ද නිමා වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා. එය ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.
ඉන් අනතුරු ව රුවින් පීරිස් (14), උපුල් චන්දන (7) සහ ඉන්දික ද සේරම් (9) ට පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කර ගැනීමට සිදු වූවා. ඔවුන්ගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 133ක් ලෙසයි.
ඒ අසීරු අවස්ථාවේ දී තම වගකීම් කරගත් නායක ශේන් ප්‍රනාන්දු සහ සුවන්ජි මදනායක 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරනවා. සුවන්ජි මදනායක පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව පුඤ්ඤකාන්ත අබේගුණසේකර පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා සිටිය දී 7 වැනි කඩුල්ලට දැවී ගිය අතර ඉනිම අවසන් වන විට ශේන් ප්‍රනාන්දු සහ චමින්ද රාජපක්ෂ නොදැවී පිටියේ රැඳී සිටියා.
ශේන් ප්‍රනාන්දු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා සිටි අතර චමින්ද රාජපක්ෂ පන්දු 2කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 4ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Mohammed Jaffar ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Naeem Tayyab කඩුලු 2ක් ද, Mohammed Hafeez සහ Mohammed Jawed කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයන් සසල කරන ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා. පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවන් යුගලය 5 වැනි පන්දුවාරය වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යෑවීමට සත්කාරකයෝ සමත් වෙන්නේ ලකුණු පුවරුව 14ක් වෙද්දීයි.
මේ තත්ත්වය හමුවේ ඔවුන්ට තම ඉනිමේ පළමු ලකුණු 50 වාර්තා කිරීමට පන්දුවාර 15ක් ගත වෙනවා. නමුත් එම තත්ත්වය දිගින් දිගට ම පැවැතියේ නැහැ. තරගයේ පාලනය ක්‍රම ක්‍රමයෙන් පාකිස්තාන පිතිකරුවන් වෙත නැඹුරු වෙන්නේ ඉනිමේ අග කාර්තුවේ දී.
එහි මූලාරම්භය 3 වැනි කඩුල්ලේ දී සිදු වෙන අතර එහි දී පෙරමුණ ගන්නේ Muhammad Shahid සහ Asif Hamayun. ඔවුන් දෙදෙනා එක් ව පන්දු 129ක දී ලකුණු 109ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා.
සමන් ජයන්තගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙන Muhammad Shahid එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් දැවී යන විට පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
අනතුරු ව Asif Hamayun සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 89ක් ලබා සිටියා. පුඤ්ඤකාන්ත අබේගුණසේකර ගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යද්දී පාකිස්තාන ඉනිම කියැවුණේ ලකුණු 182ක් ලෙසයි. ඒ වෙද්දී Sheikh Iqbal හා එක් වෙමින් ඔහු පාකිස්තාන ඉනිමට තවත් ලකුණු 59ක සබඳතාවක් එක් කර තිබුණා.
එතැන් සිට හෝ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉඩ නොතැබූ පාකිස්තාන ක්‍රීඩකයෝ ඉනිමේ 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 52ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Sheikh Iqbal පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද සහ Mohammed Hafeez පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද ලබා සිටියා.
ඒ අනුව පාකිස්තානය කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිද්දී දැවී ගිය කඩුලු Dillon Fernandez, චමින්ද රාජපක්ෂ, සමන් ජයන්ත සහ පුඤ්ඤකාන්ත අබේගුණසේකර අතර කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී 233 (45.0) සමන් ජයන්ත 71, Rory Ingram 23, ශේන් ප්‍රනාන්දු නොදැවී 45, සුවන්ජි මදනායක 33, Naeem Tayyab 2/35, Mohammed Jaffar 3/36
පාකිස්තානය – කඩුලු 4ක් දැවී 234 (44.1) Asif Hamayun 89, Muhammad Shahid 38, Sheikh Iqbal නොදැවී 53, Mohammed Hafeez නොදැවී 28, Dillon Fernandez 1/11
පාකිස්තාන වයස අවුරුදු 50ට ඉහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<